ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනතකට කැබිනට් අනුමැතිය
1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ පවතින අඩුපාඩු ආවරණය වන පරිදි නව නීතියක් හඳුන්වාදීමට සකස් කළ ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම අනුමැතිය ලබාදී ඇත.
පවතින පනතේ අඩුපාඩු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදීම සඳහා මූලික කෙටුම්පතක් සකස් කිරීමට තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කර තිබූ අතර, එම කෙටුම්පත පදනම් කරගනිමින් නව පනතක් හඳුන්වාදීමට 2026 අගෝස්තු 10 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී තිබුණි.
නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් සකස් කළ නව පනත් කෙටුම්පත සඳහා මේ වන විට නීතිපතිවරයාගේ නිෂ්කාශනයද ලැබී ඇත.
ඒ අනුව, පනත් කෙටුම්පත ඉදිරියේදී රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.