පොලිස්පති සමාව ඉල්ලයි
පොලිස්පතිවරයා විසින්, කංසා මිලිග්‍රෑම් අසූපන්දහස් දහයක් සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනාවන් කිහිපයක් යටතේ තන්තිරිමලේ පොලිසියට අනුයුක්තව සේවය කළ ජේ.ඩී සදුන් නැමැති කොස්තාපල්වරයා අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්ධන අංශය මගින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබෙනවා.
එනම් මෙහිදී පොලිස්පතිවරයා වෙනුවෙන් පොලිස් විශේෂ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්.වික්‍රමසිංහ මෙලෙස සමාව ඉල්ලා සිටියේ අදාළ කොස්තාපල්වරයාට එරෙහිව පැවති නඩුව මැදවච්චිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
මෙහිදී විවෘත අධිකරණයේ විශේෂ ප්‍රකාශයක් කරමින් පොලිස්පතිවරයා සහ පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේ විත්තිකාර පොලිස් කොස්තාපල්වරයා අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්ධන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ අනීතිකව, පළිගැනීමේ චේතනාවෙන් , සැලසුම් සහගතව බවට විමර්ශනවලදී හෙළිවූ බවයි.
මේ නිසා තම සේවාදායකයාට රැකියාව අහිමිව කලක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමට සිදුවූ බවත් ඔහුගේ බිරිඳද පොලිස් නිලධාරිනියක් වන අතර තම සේවාදායකයාට දරුවාව පාසලට ඇතුළත් කරගැනීමට පවා නොහැකි වූ බවත් ඔහුගේ නීතිඥවරයා සඳහන් කළා.
පොලිස් විශේෂ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්.වික්‍රමසිංහ, අදාළ පොලිස් කොස්තාපල්වරයාව නීතිවිරෝධිව අත්අඩංගුවට ගෙන ද්වේෂ සහගතව අධිකරණයේ නඩු පැවරූ අනුරාධපුර කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 07 කගේ මාරුකර යැවීමට කටයුතු කර ඇති බවද අදාළ නඩුව ඉල්ලා අස්කර ගන්නා බව ප්‍රකාශ කළා.
මේ අතර අත්අඩංගුවට ගැනීමට එරෙහිව මෙම පොලිස් නිලධාරින් 07 දෙනාගෙන් රුපියල් කෝටි 10 ක වන්දියක්ද ඉල්ලා අදාළ පොලිස් කොස්තාපල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක්ද පවරා තිබෙනවා.