ඩීසල් මිල අඩු වීමත් සමඟ, බස් ගාස්තු ගැන කොමිසම ගත් තීරණය

Fuel Price In Sri Lanka Sri Lanka
By Sithumi Jan 03, 2023 11:07 AM GMT
Report

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ, අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කරන්නේ ,අවස්ථා දෙකකදීම ඩීසල් මිල රුපියල් 25 කින් පහළ දැමීමත් සමග බස් ගාස්තු අඩු කළ හැකි ප්‍රමාණය මේ වන විට ගණනය කිරීම් සිදුකරන බවයි.

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල රුපියල් 15කින් පහත දැමු අතර ඒ අනුව මෙම බස් ගාස්තු සිදුකිරීමට උත්සාහ දරන බව ද එතුමා සඳහන් කළා.

ඒ අනුව අදාළ ගණනය කිරීම් අද (3) දිනයේ ප්‍රවාහන අමාත්‍යවරයා වෙත යොමු කිරීමට නියමිත බවත් ඒ සඳහා අනුමැතිය ලැබුණොත් එය ප්‍රකාශයට පත්කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ලංගම බස් රථ, පුද්ගලික බස් රථ හා අන්තර් පළාත් යන සියලුම බස්රථවල ගාස්තු එමගින් සංශෝධනයට ලක්වන බව ද ඒ මහතා පැවසීය. අදාළ තීරණය දින දෙකක් තුළ ප්‍රකාශයට පත්කරන බවත් ජනතාවට එම සහනය ලබාදීම තම අරමුණ බවත් මිරැන්ඩා මහතා සඳහන් කළේය.

"අපි කැමැත්තෙන් ඉන්නවා ජනතාවට සහනයක් ලැබෙනවා නම් එය මගී ජනතාවට ලබාදෙන්න. එය තමයි රජය අරමුණත් අපේ අරමුණත්. ඒ අනුව බස් කර්මාන්තයත් රැකෙයි. බස් ගාස්තු අඩු උනහම මගින් බස්වල සේවය ලබා ගන්න පෙළඹෙනවා. එමගින් කර්මාන්තයෙන් රැකෙන සියලුම පාර්ශවයට වාසිදායක තත්ත්වයක් උදාවෙයි.

අපේ බලාපොරොත්තුව හැකිතරම් ගුණාත්මක සේවයක් සහ පහසු මිලකට මගීන්ට බස්රථවල සේවය ලබා දෙන්න. එහෙම වුනොත් ඔවුන් ආකර්ෂණය වෙනවා බස්වලට. අනිත් පැත්තට බස් හිමියන්ටත් තමන්ගේ ව්‍යාපාරය සාර්ථක වෙනවා. දෙපැත්තම ගැන හිතලා මිල අඩු වීම තුළින් මගින්ගේ බස් ගාස්තු අඩු කිරීමට හැකියාව තියෙනවා නම් මම හිතනවා පුද්ගලික බස් සහ ශ්‍රීලංගම බස් සේවාවට වාසිදායක තත්ත්වයක් උදා වෙයි."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now