ප්‍රධාන පාසලක කැන්ටිමේ කුඩු විකුණුවැයි ඇල්ලූ කාන්තාවට සිදු වූ දේ..

By Sewvandhi Dec 12, 2022 01:54 PM GMT
Report

පාසල් කැන්ටිමේ මත්ද්‍රව්‍ය විකුණු බවට චෝදනා ලැබූ කාන්තාව ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ආර් එස් එම් මහේන්ද්‍රරාජා මහතා විසින් එකී චෝදනාවෙන් අද (12) නිදොස් කොට මුදා හැර තිබේ.

එනම්,ගම්පහ, බුත්පිටිය මහ විද්‍යාලයේ ආපනශාලාවේ මත් කරල් 38ක් සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ රැදවුම් නියෝග මත ඉකුත් 05 වෙනිදා සිට මල්වතු හිරිපිටිය පොලිසියේ අදාළ කාන්තාව රඳවා තැබුණා.

 මල්වතුහිරිපිටිය පොලිස් වසමේ පදිංචි දෙදරු මවක් වු වගසිංහ ආරච්චිගේ නිලුකා නැමැති කාන්තාව මෙසේ චෝදනාව සම්බන්ධයෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

නිදහස් කරනු ලැබූ කාන්තාව සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර ඇති හඳුනා නොගත් මත් කරල් 38 සහ කුඩා ප්‍රමාණයේ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 07 එම සිද්ධිය කුමන්ත්‍රණය කිරීම සඳහා කටයුතු කළ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන්ගේ නඩු ගොනුවට ඇතුලත් කරන ලෙසට පැමිණිල්ල මෙහෙය වමින් මල්වතුහිරිපිටිය පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ (උප .පො.ප) ඒ.පී.රණවීර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

 එම ඉල්ලීම මත එම මත්ද්‍රව්‍ය තොගය අසත්‍ය නඩු පැවරීමකට කුමන්ත්‍රණය කිරීම සහ රජයේ සේවකයෙකුට අසත්‍ය තොරතුරු ලබාදීම යන චෝදනා මත රිමාන්ඩ් භාරයේ පසුවන විණි වික්‍රමඅරච්චි, රංග ප්‍රශාද් කුමාර, නාමල් ධනංජය ප්‍රේමරත්න, සුමිත් දේවින්ද ජයලත් සහ කේ .ඒ. උෂාන් එරංග යන සැකකරුවන්ට අදාළ නඩු ගොනුවට එකී නඩු භාණ්ඩ ඇතුළත් කිරීමට අධිකරණය කටයුතු කරනු ලැබීය .

පාසල් ආපන ශාලාව පවත්වාගෙන යමින් සිටියදී අත්අඩංගුවට පත් සැකකාර කාන්තාව වෙනුවෙන් නීතිඥ ගයනි මාන්නප්පෙරුම සහ නීතිඥ ඉෂාර ගුණසේකර යන මහත්ම මහත්මීන් සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ප්‍රියන්ත ජයවර්ධන මහතා පෙනී සිටියේය. පොලීසිය මගින් දැනට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින විනි නැමැති සැකකරු සමඟ යක්කල පොලිසියට අනුයුක්තව රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු තම සේවා දායිකාව අත්අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණය කර ඇති බවට පැහැදිලි සාක්ෂි ඇති බව නීතිඥ ප්‍රියන්ත ජයවර්ධන මහතා අධිකරණය හමුවේ පැවසීය.

මෙම වරදට සෘජුවම සම්බන්ධ එම උප පොලිස් පරීක්ෂකවරයාවද අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස නීතිඥ ප්‍රියන්ත මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. රිමාන්ඩ් භාරයට පත්ව සිටින විණි නමැති සැකකරු සහ උප පොලිස් පරීක්ෂක අතර ජංගම දුරකථනයෙන් පැවති සාකච්ඡාව කුමන්ත්‍රණකාරී බවක් ලෙසට මේ වන විට අනාවරණය වී ඇති බවත් නීතිඥ ප්‍රියන්ත මහතා අධිකරණයේ හමුවේ පැවසිය .

සිද්ධියට සම්බන්ධ යැයි සැකකරන ඕනෑම අයෙකු තරාතිරම නොබලා අත් අඩංගුවට ගන්නා ලෙසට අධිකරණයෙන් මල්වතුහිරිපිටිය පොලිසියට නියම කෙරුණි. යක්කල පොලිසියට අනුයුක්ත එම උප පොලිස් පරික්ෂකවරයා සම්බන්ධයෙන් ගත යුතු කියාමාර්ග පිළිබඳ මේ වන විටත් විමර්ශන සිදු කරමින් පවතින බවට අධිකරණයේ දී වැඩිදුරටත් සදහන් විය .

අසත්‍ය නඩු පැවරීමකට කුමන්ත්‍රණය කිරීම සහ රජයේ සේවකයෙකුට අසත්‍ය තොරතුරු ලබාදීම සම්බන්ධව රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් පස් දෙනාට අදාල නඩුව ලබන 20 වෙනිදාට නැවත කැදවීමට නියම වී තිබේ