රජයෙන් විශේෂ තීරණයක්..

Sri Lanka Government Of Sri Lanka Climate Change Weather
By Sewvandhi Oct 16, 2022 11:48 AM GMT
Report

දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයක් මෙරට තුළ පිහිටුවීමට රජය තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවද නිරන්තරයෙන් දේශගුණ විපර්යාසවලට මුහුණදෙන රටක් වන හෙයින් අනාගතයේ සිදුවිය හැකි දේශගුණික විපත් කළමණාකරණය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි එම කාර්යාලය පිහිටුවීමට නියමිතය. 

 දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ පිහිටුවනු ලබන එම කාර්යාලය මගින් මෙරට දේශගුණ අභියෝගයන්ට මුහුණදීම සඳහා සැලසුම් සකස් කිරීම මුලික අරමුණ වී තිබේ. 

 දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට සහ දේශගුණික විපර්යාසවලට මුහුණදීම සම්බන්ධයෙන් වන පනතක් ද ඉදිරියේ දී කෙටුම්පත් කොට පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට නියමිත බව වාර්තා වේ. 

 නොවැම්බර් මස 6 වන දින සිට 18වන දින දක්වා ඊජිප්තුවේ පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ කෝප් 27 ලෝක සමුළුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට පිහිටුවීමට නියමිත දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now