අයවැය ඇස්තමේන්තු සකස් කිරීමට අදාළ මාර්ගෝපදේශ නිකුත් කෙරේ

Parliament of Sri Lanka Sri Lanka Sri Lanka Budget 2022
By Sewvandhi Sep 08, 2022 03:54 AM GMT
Report

ලබන වසරට අයවැය ඇස්තමේන්තු සකස් කිරීම සඳහා මුදල් අමාත්‍යංශය විසින් මාර්ගෝපදේශ නිකුත් කර තිබේ. සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන්ට ඒ සම්බන්ධයෙන් වන ජාතික අයවැය චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2023 – 2025 මැදිකාලීන අයවැය රාමුවට අනුකූලව 2023 වාර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තු සකස් කිරීම පිළිබඳ මාර්ගෝපදේශ ලබාදීම එම චක්‍රලේඛයේ අරමුණ වී තිබේ.

මෙහිදී ලබන වසර සඳහා අයවැය ඇස්තමේන්තු සකස් කිරීමේදී පිළිපැදිය යුතු මාර්ගෝපදේශ ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව රාජ්‍ය වියදම් පාලනය කිරීම සඳහා විධිවිධාන දැඩිව අනුගමනය කළ යුතු බවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ. 2023 අයවැය සකස් කිරීමේ මූලික තේමාව විය යුත්තේ අවම යෙදවුම් තුළින් පරිවර්තනීය වෙනසක් සිදුකිරීම යන්න බවත් එය සෑම රාජ්‍ය ආයතනයකම පොදු අරමුණ බවට පත්කර ගතයුතු බවත් මුදල් අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.

විශේෂයෙන්ම 2023 වර්ෂය තුළ රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සිදුනොකිරීමට ද ඒකාබද්ධ අරමුදලෙන් වැටුප් ගෙවන තනතුරු සඳහා නව බඳවා ගැනීම් අත්හිටුවීමට ද තීරණය කර ඇති බව වාර්තා වේ. නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට අනුව සියලු රාජ්‍ය ආයතනවල ලබන වසර සඳහා අයවැය ඇස්තමේන්තු සැප්තැම්බර් 14 වන දින හෝ ඊට ප්‍රථම ලබාදෙන ලෙස මුදල් අමාත්‍යංශය විසින් දැනුම් දී තිබේ.


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now