අලුත්ම මුදල් ඒකකයක් හදුන්වාදෙයි..

BRICS summit
By Sewvandhi Jul 08, 2023 03:33 PM GMT
Report

මෙවර BRICS සමුළුවේ ප්‍රමුඛතාව නව මුදල් ඒකකයක් හඳුන්වාදීම කෙරෙහි යොමුවී තිබෙනවා. මෙම සමුළුව එළඹෙන අගෝස්තු මාසයේ දී පැවැත්වීමට නියමිතයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම මුදල් ඒකකයට ණය මත පදනම් වූ ඩොලරයට අතිශයින් වෙනස් රන් මත පදනම් වූ නව මුදල් ඒකකයක් වන බවයි.

BRICS සන්ධානය ආරම්භ කළේ  බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය එක්වී 2009 වසරේ ජුනි මාසයේ දීය. ඒ, 2050 වන විට ගෝලීය ආර්ථිකයේ ආධිපත්‍ය දරණ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් ගොඩ නැගීමේ අරමුණින්ය.

දකුණු අප්‍රිකාව ද 2010 වසරේ දී BRICS සමග එක්වූ අතර මේ වනවිට එය ලොව ප්‍රමුඛතම නැගී එන වෙළෙඳපොළ ආර්ථිකයන්හි බලගතු සන්ධානයක් ලෙස සැලකේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ වනවිට BRICS සන්ධානය රන් මත පදනම් වූ නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සුදානමින් පසුවන බවයි.

එය ණය මත පදනම් වූ ඩොලරයට අතිශයින් වෙනස් ඉහළ වටිනාකමකින් යුතු මුදල් ඒකකයක් වනු ඇත. මෙලෙස නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇත්තේ ලෝකයේ තවත් රටවල් රැසක් BRICS සන්ධානය සමග එක්වීමට සූදානමින් සිටින පසුබිමකය.

එනම්, ආර්ජන්ටිනාව, ඇල්ජීරියාව, බහරේන්, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දුනිසියාව, ඉරානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය BRICS සන්ධානයට එක්වීමට නිල වශයෙන් අයඳුම් කර තිබේ.

එමෙන්ම ප්‍රංශය, කියුබාව, පාකිස්තානය, තායිලන්තය ඇතුළු තවත් රටවල් 41ක් BRICS සන්ධානය සමඟ එක්වීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වනවා.

ඔවුන් එම නව මුදල් ඒකකය භාවිත කිරීමටත් එකඟතාව පළකර තිබීම විශේෂත්වයකි.

බ්‍රසීල ජනපති ලූලා ද සිල්වා, "සෑම දිනකම මම හිතනවා.. සියලුම රටවල් වෙළෙඳ කටයුතුවලට ඩොලරය සමග බැඳී ඉන්න ඕනේ ඇයි කියන එක ගැන. ඇයි අපිට අපේම මුදල් ඒකකයකින් ගනුදෙනු කරන්න බැරි ? අපිට අලුත් මුදල් ඒකකයක් ගොඩනගන්න බැරි. රටවල්වල ගැටලු විසඳන්න පුළුවන් මුදල් ඒකකයක් අපිට තියෙන්න ඕනේ. සියලුම රටවලට අපනයන කටයුතුවලට ඩොලරය පසුපස දුවන්න සිදුවෙලා තියෙනවා. තමන්ගේම මුදල් ඒකකයක් තියෙනවා නම් ඒ රටවල මහ බැංකුවලට ඒ කටයුතු පිළිබඳව අවධානය යොමු කරන්න පුළුවන්. BRICS වගේ බැංකුවලට බ්‍රසීලය සහ චිනය අතර ගනුදෙනුවලට අලුත් මුදල් ඒකකයක් ගොඩ නගන්න බැරි. හැම කෙනෙක්ම එක මුදල් ඒකකයකට කොටු වෙලා නිසා ඒක කරන්න අමාරුයි තමයි."