රාජිත වටලන්න සැලසුම් සූදානම් - කොමිසමෙන් දැඩි පියවර
හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
එම කොමිසම පැවසුවේ, හිටපු අමාත්‍යවරයා මේ වන විට තම දුරකථනය විසන්ධි කර ඇති බවයි. එසේම, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ පදිංචි නිවසට කිහිප වතාවක් ගිය බවත්, එහිදී ඔහු නොසිටි බවත් අනාවරණය වී ඇත.
අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම පසුගියදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවේ ඉල්ලීමක් කළේය.
රාජිත සේනාරත්න විමර්ශනවලට සහාය දැක්වීමෙන් වැළකී සිටින බැවින්, ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා ඇත.
කෙසේ වුවත්, එවැනි නියෝගයක් නිකුත් කිරීමට විමර්ශනවලට අදාළ වාර්තා අධිකරණයට අවශ්‍ය බවත්, එවැනි වාර්තා පරීක්ෂා කිරීමකින් තොරව නියෝගයක් නිකුත් කළ නොහැකි බවත් මහේස්ත්‍රාත්වරයා පවසා ඇත.
මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට පෙන්වා දී ඇත්තේ, හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට නීතිමය බාධාවක් නොමැති බවයි.
කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් ක්‍රියාපටිපාටියට පටහැනිව කොරියානු සමාගමකට පැවරීම හේතුවෙන් රජයට රුපියල් ලක්ෂ 262කට අධික පාඩුවක් සිදු කිරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න නම් කර ඇත.
මේ අතර, ආරංචිමාර්ගවලට අනුව, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරි දිනකදී ඔහුගේ නීතිඥවරුන් හරහා අධිකරණයට ඉදිරිපත් වීමට නියමිත බව පැවසේ.