මහනුවර කැලඹූ බෝම්බ බිය ඇති කළ සැකකරුවෙක් අල්ලයි. - අවසානයේ ඔහු කියූ අමුතු කතාව මොකක්ද මේ? - (VIDEO)

Sri Lanka Army Sri Lanka Police Kandy Bomb Blast
By Wayomi Jul 02, 2024 10:52 AM GMT
Report

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබාදුන් පුද්ගලයා අද (02) දහවල් ගිනිගත්හේන පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුනා.

මහනුවර පොලීසිය විසින් ගිනිගත්හේන පොලීසියට ලබාදුන් තොරතුරක් මත අදාළ දුරකථන අංකයේ හිමිකරු වන ගිනිගත්හේන, කඩවල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් එලෙස සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අදාළ දුරකථනය ඔහු සන්තකයේ නොතිබුණු බවත් එම දුරකථනය ඊයේ (01) දහවල් අස්ථානගත වූ බවත් සැකකරු පොලීසියට සඳහන් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කර ඇති බවත්, ඔහු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවත් ගිනිගත්හේන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විරාජ් විතානගේ මහතා කියා සිටියා.

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට ලද අදාළ පණිවුඩය හේතුවෙන් එහි විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණු අතර එහි නඩු විභාග කිරීම නවතා දමා ජනතාව අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කිරීමට ද ආරක්ෂක අංශ පියවර ගෙන තිබුනා.