'Bennu' ග්‍රහකයා පෘතුවියේ වැදුණොත් කුමක් වෙයිද..?

Astrology NASA
By Sewvandhi Sep 25, 2023 03:18 PM GMT
Report

නාසා ආයතනය පෘථිවියට අනාගතයේදී දැවැන්ත තර්ජනයක් විය හැකි 'Bennu' ග්‍රහකය පිළිබඳ පර්යේෂණ සඳහා ඉන් ලබාගත් පාෂාණ සාම්පල පෘථිවිය වෙත සාර්ථකව රැගෙන එන්නට සමත්වුණි.

වසර හතක පමණ දැවැන්ත මෙහෙයුමකින් පසුවයි එම ක්‍රියාව සාර්ථක වුණේ. පාෂාණ සාම්පල රැගත් කැප්සූලය අමෙරිකාවේ යූටා කාන්තාර ප්‍රදේශයට සාර්ථකව ගොඩබස්වනු ලැබීය.

නාසා ආයතන දැනට හඳුනාගෙන අති ග්‍රහක අතරින් පෘථිවියට වැඩිම අවදානමක් එල්ල කළ හැකි අවදානම් සහගතම ග්‍රහකය වන්නේ 'Bennu' ග්‍රහකය යි. 'Bennu' ග්‍රහකය ඉදිරි වසර 300 තුළ පෘථිවිය සමඟ ගැටීමට ඇති අවදානම නිසාම ඒ පිළිබඳ තොරතුරු සෙවීමට නාසා ආයතනය පියවර ගත්තේය.

ඒ අනුව, ඔසිරිස් රෙක්ස් අභ්‍යවකාශ යානය 2016 දී 'Bennu' ග්‍රහකය වෙත පිටත් කර යැවුණේ එහි පාෂාණ සාම්පල පෘථිවියට ගෙන්වා ගැනීමේ අපේක්ෂාවෙනි. එම යානය 2020 වසරේදී තම ඉලක්කය වූ 'Bennu' ග්‍රහකය මතට ගොඩබැස්ස වූ අතර එහි සාම්පල එකතුකිරීම සිදුවුණි.

සාම්පල රැගත් යානය යළි පෘථිවිය බලා ගමන් ආරම්භ කළේ 2021 වසරේ මැයි මාසයේදී ය. 'Bennu' ග්‍රහකයෙන් පාෂාණ කොටස් ලබාගැනීම සංකීර්ණ ක්‍රියාවලියක් වී ඇති අතර පළමුව ඔසිරිස් රෙක්ස් යානය ග්‍රහකය වටා කක්ෂගතවෙමින් එහි ගොඩබෑමට පෙර එම ස්ථානය සිතියම්ගත කිරීම සිදුකර තිබුණි.

පාෂාණ කොටස් එක්රැස් කිරීමට යානය ගොඩබස්වා ඇත්තේ ඉන් අනතුරුවය. මාස කිහිපයක් පුරා සාම්පල එක්රැස් කරගත් ඔසිරස් රෙක්ස් යානය වසර දෙකක් පුරා කිලෝමීටර බිලියන 1.9ක දීර්ඝ ගමනක් අවසන් කරමින් පෘථිවිය ආසන්නට ඊයේ (24) ළඟා වුණි.

පාෂාණ සාම්පලය සහිත කැප්සූලය පෘථිවියට පතිත කෙරුණේ මව් යානය පෘථිවියට කිලෝමීටර් ලක්ෂයක් තරම් ආසන්න වීමෙන් පසුවය. නාසා ආයතනය සැලසුම්කළ පරිදිම එම කැප්සූලය අමෙරිකාවේ යූටා හි බටහිර කාන්තාරයට සාර්ථකව ගොඩබස්වනු ලැබීය.

ඒ පැරෂුටයක ආධාරයෙනි. මේ යටතේ 'Bennu' ග්‍රහකයේ පාෂාණ සාම්පල් ග්‍රෑම් 250ක් පෘථිවියට රැගෙනවිත් තිබේ. එය ඉතිහාසයට එක්වන්නේ නාසා ආයතනය එකතු කරගත් පළමු ග්‍රහක පාෂාණ සාම්පලය ද ලෙසය. පෘථිවි ආසන්න වස්තුවක් ලෙස සැලකෙන 'Bennu' ග්‍රහකය සෑම වසර 6කට වරක්ම පෘථිවිය ආසන්නයෙන් ගමන් කරයි.

මීටර් 500ක් පළලින් යුතු තරමක් කුඩා ප්‍රමාණයේ එම ග්‍රහකය පළමුවරට සොයාගෙන ඇත්තේ 1999 වසරේදී ය. මීට වසර මිලියන 66කට පෙර පෘථිවියේ යූකටාන් අර්ධද්වීපයේ ගැටී ඩයිනසෝරයින් වඳවීමට හේතුවූ Chicxulub ග්‍රහකයට සාපේක්ෂව 'Bennu' ඉතාම කුඩා ග්‍රහකයක් කීම නිවැරැදිය.

'Bennu' ග්‍රහකය ප්‍රංශයේ අයිෆල් කුලුන සහ අමෙරිකාවේ එම්පයර් ගොඩනැගිල්ලට සාපේක්ෂව බැලූ විට ග්‍රහකයේ විශාලත්වය ගැන නිසි අදහසක් ලබාගත හැකිය. බෙනූ ග්‍රහකයෙන් ගෙනා පාෂාණ සාම්පල පරික්ෂා කිරිම අද (25) සිට ආරම්භ වන අතර, එහිදී අනාවරණය කරගන්නා තොරතුරු ලබන ඔක්තෝබර් 11 වනදා ලොවට හෙලිකිරීමට නියමිතය. මීට වසර බිලියන 4.6 කට පෙර පෘථිවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණ වූ ආකාරය පිළිබඳ මෙන්ම පෘථිවිය තුළ ජීවය ඇති වූ ආකාරය පිළිබඳ තොරතුරු ලබාගැනීම එම මෙහෙයුමේ අපේක්ෂාව වෙයි.

'Bennu' ග්‍රහකය නිර්මාණය වී ඇත්තේ කවර මූලද්‍රව්‍යවලින් යන්න සොයාගැනීම ඒම පරීක්ෂණවලට රුකුලක් වනු ඇත. ඒමෙන්ම තවත් වසර 300 කින් පමණ 'Bennu' ග්‍රහකය පෘථිවියේ ගැටීමේ අවදානමක් පවතින අතර, එය ද එම ග්‍රහකය පිළිබඳ මෙතරම් උනන්දුවක් දැක්වීමට ප්‍රධානතම හේතුවකි.

යම් හෙයකින් එය පෘථිවියේ ගැටීමේ අවදානමක් උද්ගත වුවහොත් ඒය වළක්වාගත හැකි ආකාරය නිගමනය කරගැනීම එම පර්යේෂණයේ තවත් ඉලක්කයකි. ඒ අනුව මෙම පර්යේෂණ සාර්ථක වුවහොත් එය සමස්ත පෘථිවියේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් සංධිස්ථානයක් වනු ඇති අතර අභ්‍යවකාශ පර්යේෂණ ක්ෂේත්‍රය තුළ ද දැවැන්ත පිම්මක් වනු ඇති බව නාසා ආයතනය පවසයි.(උපුටාගැනීමක්)