ජනාධිපති අරමුදලෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ.

Sri Lanka Sri Lanka Government
By Wayomi May 23, 2022 06:28 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ඉඳහිට හෝ සමාජයේ කතාබහට ලක්වන විවිධ මාතෘකා තියෙනවා. පසුගිය කාලයේ එහෙම කසුකුසුවක් ගිය මාතෘකාවක් ගැනයි අද කතා කරන්න යන්නේ. ඒ, ජනාධිපති අරමුදල ගැන. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ජනාධිපති අරමුදලෙන් මොකද කරන්නේ? ජනතාවට ඉන් ලැබෙන ප්‍රතිලාභ මොනවද කියන එක.

ජනාධිපති අරමුදලේ ආරම්භය   

මේ ගැන නොදන්නා සමහරු නම් හිතන් ඉන්නේ මෙම අරමුදල අදක ඊයෙක ආරම්භ වුණා කියලයි. නමුත් ජනාධිපති අරමුදල ආරම්භ වුණේ මීට වසර හතළිහකට පමණ පෙර. ඒ කියන්නේ 1978 ජේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපති ධුරය දැරූ කාලයේ. එය 1978 අංක 07 දරන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ පනතකින් සම්මත වූ අතර රුපියල් දෙලක්ෂ තිස්හත්දහස් එකසිය විස්සක මූලික ප්‍රාග්ධනයකින්.

ජනාධිපති අරමුදලට මුදල් ලැබෙන්නේ කොහොමද?

මතක ඇති ඔබට කොවිඩ් අරමුදලට මුදල් ලැබුණු විදිහ. අන්න විදිහට තමයි මේකටත් මුදල් ලැබෙන්නේ. ඒ කියන්නේ පරිත්‍යාගශීලීන්ගෙන්. ඊට අමතරව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් අලෙවියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් ද මෙම අරමුදලට එකතු වෙනවා.

මේක පාලනය කරන්නේ කවුද?

ඊට වෙනම පාලක මණ්ඩලයක් සිටින අතර මෙහි සභාපති ජනාධිපතිතුමායි. සෙසු සාමාජිකයන් අගමැතිතුමා, කථානායකතුමා, විපක්ෂ නායකතුමා, ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපතිතුමා විසින් පත්කරනු ලබන සාමාජිකයන් දෙදෙනෙක්. මෙය කළමනාකරණය කිරීම සඳහා පනත අනුව ජනාධිපතිවරයා වෙත බලය පැවරෙනවා. එමෙනම රජයේ විගණකාධිපතිවරයා විසින් වාර්ෂිකව ජනාධිපති අරමුදලේ ගිණුම් විගණනය කරනු ලබනවා.

ජනාධිපති අරමුදලේ අරමුණු

- දරිද්‍රතාවයට සහන සැලසීම.

- අධ්‍යාපනය හෝ ඥානය වර්ධනය කිරීම.

- සියලු ආගම් නංවාලීම.

- ජාතිය වෙනුවෙන් සේවයක් කර ඇති තැනැත්තන්ට මූල්‍යමය ප්‍රදානයන් කිරීම.

- ජනාධිපතිවරයාගේ හා පාලක මණ්ඩලයේ මතය අනුව මහජනතාවගේ සුබ සිද්ධිය හා යහපත පිණිස වූ වෙනත් කර්තව්‍යයන් ඉටු කිරීම.  


* මෙරට පුරවැසියන් වෙනුවෙන් සුවිශේෂී වූ කාර්යයන් රැසක් මෙම අරමුදල මඟින් ඉටු කළද, වර්තමානයේ ප්‍රමුඛත්වය ලබාදෙන්නේ වෛද්‍යාධාර ලබාදීම සඳහායි.

 

රෝගියෙක් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ආධාර ලබාගන්නේ කෙසේද?


- හදවත් සැත්කම්

- වකුගඩු බද්ධ කිරීමේ සැත්කමට හෝ රුධිරකාන්දුකරණ ප්‍රතිකාරය

- මොළයේ සැත්කම්

- අක්මාව බද්ධ කිරීමේ සැත්කම්

- පිළිකා ප්‍රතිකාර සඳහා ( ඖෂධ හා එන්නත් ලබා ගැනීමට )

- ඇටමිඳුළු බද්ධ කිරීමේ සැත්කම්

- කර්ණශංඛ බද්ධ කිරීමේ සැත්කම්

- කොඳුඇට පෙළේ විකෘති වීම් නිවැරැදි කිරීමේ සැත්කම්

කොඳුඇට පෙළ තෙරපීම නිවැරැදි කිරීමේ සැත්කම

- දණහිස්, උකුල්, උරහිස් හා වැලමිට අස්ථි ප්‍රතිෂ්ඨාපනය

- කෘතිම අත්, පාද මිළදී ගැනීම සඳහා

- තැලසීමියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය උපකරණ මිළදී ගැනීම සඳහා

- විදේශීයව සිදුකරන අක්ෂි සැත්කම් 

❤ හදවත් සැත්කමක් සඳහා රුපියල් හහළිස් දහසේ ( රු. 40,000 ) සිට රුපියල් ලක්ෂ දෙක ( රු. 200,000 ) දක්වාත්

❤ වකුගඩු බද්ධ කිරීමේ හෝ රුධිරකාන්දුකරණ ප්‍රතිකාර සඳහා රුපියල් ලක්ෂ දෙකේ ( රු. 200,000 ) සිට රුපියල් ලක්ෂ හතර ( රු. 400,000 ) දක්වාත්

❤ පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් හත්ලක්ෂ පනස් දහස දක්වා 50% ක් ද එම ඇස්තමේන්තුගත මුදල රුපියල් හත්ලක්ෂ පනස් දහසට වඩා වැඩි අයට රුපියල් ලක්ෂ හතරක් ( රු. 400,000 ) දක්වාද ගෙවනු ලබයි.

❤ අක්මා බද්ධ කිරීමේ සැත්කම සඳහා රුපියල් ලක්ෂ පහක් ද ( රු. 500,000 )

❤ ඇටමිඳුළු බද්ධ කිරීමේ සැත්කම සඳහා රුපියල් ලක්ෂ පහක් ද ( රු. 500,000 )

❤ කොඳුඇට පෙළ විකෘති වීම නිවැරැදි කිරීමේ සැත්කමට රුපියල් ලක්ෂ දෙකක් ( රු. 200,000 ) හා

❤ කොඳුඇට පෙළ තෙරපීමේ සැත්කමට රුපියල් ලක්ෂ දෙකක ( රු. 200,000 ) මුදලක් ද,

❤ කර්ණශංඛ බද්ධ කිරීමේ සැත්කම සඳහා රුපියල් ලක්ෂ පහක් ද ( රු. 500,000 )

❤ උකුල්, දණහිස්, උරහිස් හා වැලමිට අස්ථි ප්‍රතිෂ්ඨාපනයේ එක් සන්ධියක් සඳහා රුපියල් ලක්ෂය ( රු. 100,000 ) බැගින් ද ගෙවනු ලැබේ.

❤ මොළයේ සැත්කම් සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් ලක්ෂ පහක් ( රු. 500,000 ) දක්වා රුපියල් දෙලක්ෂ පනස්දාහක් ද ( රු. 250,000 ) ඇස්තමේන්තු ගත මුදල රුපියල් ලක්ෂ දහයක් ( රු. 1000,000) දක්වා රුපියල් ලක්ෂ තුනක් ( රු. 300,000 ) ක් ද, ඇස්තමේන්තුගත මුදල රුපියල් ලක්ෂ පහලොව ( රු. 1500,000 ) දක්වා රුපියල් තුනලක්ෂ පනස්දහසක් ( රු. 350,000 ) හා ඇස්තමේන්තු මුදල රුපියල් පහළොස් ලක්ෂය ඉක්මවීමේදී රුපියල් ලක්ෂ හතරක ( රු. 400,000 ) මුදලක් ද,

❤ කෘතිම අත් සහ පාද මිළදී ගැනීම සඳහා එක් අවයවයකට රුපියල් පනස්දහසක් ද ( රු. 50,000 ) ජනාධිපති අරමුදලින් ගෙවනු ලැබේ.


විවෘත හදවත් සැත්කම් සිදු කිරීමට රජයේ රෝහලක දීර්ඝ කාලයක් පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුවන බැවින් බොහෝ රෝගීන් අධික මුදලක් වැය කරමින් පෞද්ගලික රෝහලකින් සිය සැත්කම සිදුකරවා ගැනීමට උත්සාහ ගන්නවා. නමුත් විශේෂ ව්‍යාපෘතිය යටතේ විවෘත හදවත් සැත්කම් කරාපිටිය ශීක්ෂණ රෝහලේ හෘද රෝග ඒකකයෙන් නොමිලේ සිදුකරවා ගැනිමට ඉඩකඩ සලසා තිබෙනවා. 

ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබාගැනීමට සුදුසුකම් ලබන අය 

❤ සැත්කම / ප්‍රතිකාරය සිදුකර රෝහලින් පිටවූ දින සිට දින 30 ක් ඇතුළත අයදුම්පත ඉදිරිපත් කිරීම. ( සතිඅන්ත හා රජයේ නිවාඩු දිනයන්ද ඇතුළුව )

❤ ආදායම් බදු නොගෙවන පුද්ගලයන් ( රෝගියා, කලත්‍රයා ඇතුළු අවිවාහක දරුවන් )

❤ සැත්කම් / ප්‍රතිකාර සඳහා වැය වූ මුළු මුදලින් 50% ක් හෝ ඊට වැඩි මුදලක් වෙනත් ආයතනයකින් නොලැබෙන අය ( උදා:- රක්ෂණ ක්‍රමයකින් / වෛද්‍යාධාර ක්‍රමයකින් / සුබසාධන ක්‍රමයකින් හෝ වෙනත් ආකාරයකින් )

❤ අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ නොලබන අය

❤ පවුලේ මාසික ආදායම රුපියල් ලක්ෂය නොයික්මවන අය ( රෝගියා කලත්‍රයා ඇතුළු අවිවහක දරුවන් )

❤ සැත්කම / ප්‍රතිකාරය සඳහා යන වියදම දරා ගැනීමට ප්‍රමාණවත් මූල්‍ය සම්පත් රෝගියාගේ පවුල සතු නොවීම

❤ අනුමත රෝගයක් වීම / අනුමත රෝහලකින් සැත්කම / ප්‍රතිකාරය සිදුකරවා ගැනීම

❤ අයදුම්පතේ අසත්‍ය තොරතුරු නොසැපයීම

❤ ශ්‍රී ලාංකික පුරවැසියන් පමණක් වීම