නීතිඥ සංගමයෙන් පොලිස්පතිට අවධාරණාත්මක ලිපියක්..! දැඩි අනතුරු ඇගවීමක්.

Sri Lanka Police Sri Lankan protests Sri Lanka Bar Association of Sri Lanka
By Sewvandhi Jun 03, 2022 01:29 PM GMT
Report

2022 මැයි 9 වැනි දින කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති අරගලය සාමකාමී විරෝධතා ව්‍යාපාරයට එල්ල කෙරුණු ප්‍රහාරය සහ ඉන් පසුව රට පුරා පැතිරී ගිය ප්‍රචන්ඩ ක්‍රියාවන් සම්බන්ධයෙන් පොලිසිය නොසැලකිලිමත් ලෙස අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා.

එම ලිපියේ දැක්වෙන්නේ එම දින කිහිපය තුළ රට පුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන ක්‍රියාවලියේදී සහ අත්අඩංගුවට ගැනීම්්වලදී පොොලිස් දෙපාර්තමේන්තුවේ පක්ෂග්‍රාහී බව මනාව ප්‍රකට වන බවයි ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි අවධානය යොමු කර ඇති බවත් එම ලිපියේ සඳහන්.

බොහෝ පොලිස් ස්ථාන භාර නිලධාරීන්ගේ දේශපාලන පක්ෂග්‍රාහීභාවය පිළිබඳව පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් ද මෙම ලිපියෙන් අවධාරනය කර ඇති අතර එම කාරණා හේතුවෙන් ම මෙම චෝදනා වල බරපතල කම තවත් වැඩි වී ඇති බව නීතිඥ සංගමය අවධාරණය කරනවා.

සාමාජිකයින් විසින් චෝදනා කරන ලද එවැනි පක්ෂග්‍රාහී අවස්ථා අතර, සැකකරුවන් අපරාධය සිදු වූ ස්ථානයේ නොසි ට ඒ වන විට වෙනත් ස්ථානයක සිටි බවට වන ප්‍රකාශයන් සත්‍යාපනය නොකර අත්අඩංගුවට ගැනීම්, කිසිදු විශ්වසනීය තොරතුරු නොමැතිව, නමුත් දේශපාලනඥයන් ඇතුළු උනන්දුවක් දක්වන පාර්ශ්වයන් විසින් සපයනු ලබන ලැයිස්තු මත පදනම්ව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ආදි‍ය වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම 2022 මාර්තු සිට මැයි දක්වා කාලය තුළ රජයට එරෙහිව සාමකාමී විරෝධතාවලට පුද්ගලයන් සහභාගී වූ පදනම මත පමණක් ම සිදුකල අත්අඩංගුවට ගැනීම් ද මේ අතර වන බව මේ ලිපියේ සඳහන්. යම් යම් පුද්ගලයන්ට එරෙහිව කිසිදු පදනමකින් තොරව විරෝධතා රැලි අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමේ අරමුණෙන් ම සිදු කළ අත්අඩංගුවට ගැනීම් ද සිදුකර ඇති බව මෙම ලිපියෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිවරයාට අවධාරණය කරනවා.

එමෙන්ම හඳුනාගැනීමේ පෙරට්ටුව ට පෙර සැකකරුවන් ඡායාරූපගත කිරීම, පෙළපාළිවලට පෙර සාක්ෂිකරුවන්ට එවැනි ඡායාරූප පෙන්වීම වැනි පොලිසිය විසින් නීතිය පසඳලීමේ දී සිදු නොකරන සම්මතයෙන් බැහැර වූ අවස්ථාවන් පිළිබඳව වාර්තා වී ඇති බවත් ඒ පිළිබඳව නීතිඥ සංගමයට පැහැදිලි සැකයක් ඇති බවත් එම ලිපියේ සඳහන්.

එමෙන්ම රිමාන්ඩ් භාරයේ තබා ගැනීම සඳහා දැනට අවලංගු වී ඇති හදිසි නීති රෙගුලාසි අසීමිත ලෙස භාවිතා කිරීම පිළිබඳවද නීතිඥ සංගමය මෙහිදී පොලිස්පතිවරයාගෙන් ප්‍රශ්න කරනවා. පොලිස් පරීක්ෂණ ස්වාධීන හා අපක්ෂපාතී විය යුතු අතර නීති විරෝධී ඇඟිලි ගැසීම්වලින් තොර විය යුතු බව ට මෙම ලිපියෙන් පොලිස්පතිවරයාට අවධාරණය කරන අතරම නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට එරෙහිව මතු වන පක්ෂග්‍රාහී චෝදනා පොලිසිය කෙරෙහි මහජන විශ්වාසය බරපතල ලෙස ගිලිහී යාමට තුඩු දෙන කාරණයක් වන බවයි නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ.

මේ හරහා රටේ නීතිය හා සාමය නරක අතට හැරෙනු ඇති බවටත් ඔවුන් අනතුරු අඟවනවා. එමෙන්ම මෙවැනි චෝදනා රටේ මානව හිමිකම් තත්ත්වය කෙරෙහි ද බලපානු ඇති අතර ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීමේ ක්‍රියාමාර්ගවලට ද බෙහෙවින් බලපාන අතරම ඒ හරහා වෙනත් ප්‍රතිවිපාකවලට ද තුඩු දිය හැකි බවටයි ඔවුන් මෙම ලිපියෙන් අවධාරණය කරන්නේ.

මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කර සියලුම විමර්ශන, නීතියේ පරාමිතීන් තුළ ස්වාධීනව සහ අපක්ෂපාතීව සිදු වන බවට සහතික වන ලෙස, සමස්ත පොලිස් නිලධාරීන්ට වහාම උපදෙස් දීමට කඩිනම් පියවර ගන්නා ලෙසත්, මෙම ලිපිය හරහා අවසන් වශයෙන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ගෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGallery