බැංකු ණය සම්බන්ධයෙන් ජනපති ගෙන් දැනුම්දීමක්..

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Ranil Wickremesinghe
By Aruna Nov 19, 2022 02:06 AM GMT
Report

බැංකුවලින් ලබාගෙන ඇති ණය සඳහා අය කරන පොලී අනුපාත ඉහළ යාම පාලනය කර සහන ලබාදීමට නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ට දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රිවරුන් ප්‍රකාශ කර ඇත්තේ ව්‍යාපාරිකයන් සහ ජනතාව බැංකුවලින් අඩු පොලියට ලබා ගත් ණය සඳහා සියයට 20 සිට සියයට 30 ඉක්මවන පොලියක් ගෙවීමට සිදුවී තිබෙන බවයි. එම නිසා සහන ලබා දෙන ලෙස මන්ත්‍රිවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ඊට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, ‘‘අපිට ණය ගෙවන්න මුදල් නෑ. ලොකු අයවැය පරතරයක් තියෙනවා. පොලී අනුපාතය ඉහළ යෑම තාවකාලිකයි.

මුලින්ම ඒක පාලනය කරගන්න ඕන. දැනට අපි අයි.එම්.එ‍‍ෆ් එකත් එක්ක කතාකරගෙන යනවා.

ජනවාරි වෙන කොට ඉන්දියාවයි, චීනයයි අපිට සුබවාදී ප්‍රතිචාර දක්වාවි.

ඒ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සිදුවුණ ගමන්ම පොලී අනුපාතය වෙනස් වේවි’’ යනුවෙනි.

මෙම අවස්ථාවට එක්ව සිටි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා බැංකු පොලී අනුපාත වැඩිවීම පිළිබඳව මන්ත්‍රිවරුන්ට කරුණු පැහැදිලි කර තිබේ.

පොලී අනුපාත ශීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා පීඩාවට පත්ව සිටින බැංකු ගනුදෙනුකරුවන්ට කෙටි කාලයක් සඳහා සිය ණය වෙනුවෙන් පොලිය පමණක් ගෙවීම සඳහා අදාළ බැංකු සමග සාකච්ඡා කරගත හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි.

ඒ සඳහා බැංකු වෙත උපදෙස් ලබා දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ පැවැති මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය උපදේශක කාරක සභාවේ දී ද පෙන්වා දී ඇත.

ඒ අනුව පොලී අනුපාත ඉහළ යෑම හේතුවෙන් ඇතැම් ණය හිමියන්ගේ මුළු ආදායමම ණය වාරික සඳහා ගෙවීමට සිදුව තිබෙන පසුබිමක මෙම තාවකාලික සහනය බැංකු සමග සාකච්ඡා කර ලබාගැනීමේ හැකියාව පවතී.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාත පසුගිය වකවානුවේ සැලකිය යුතු ලෙස ඉහළ දමා ඇති අතර මේ වන විට ණය පොලී අනුපාතය පවතින්නේ 15.50%ක පමණ අගයකය.

කෙසේ වෙතත් මහ බැංකුව සහ වාණිජ බැංකු අතර පවතින පොලී අනුපාත වෙනස මේ වන විට ඉතිහාසයේ ඉහළම අගයක් ගෙන ඇති අතර ඇතැම් රාජ්‍ය බැංකු පවා සිය පෞද්ගලික ණය පොලී අනුපාත 32%ක පමණ ඉහළ අගයකින් පවත්වාගෙන යනු ලබයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now