ඔබත් මෙවැනි අයට හසුවුණා ද? -TIN තොරතුරු සොයන මුවාවෙන් බැංකු ගිණුම්වලට රිංගන හැකර් කල්ලියක් .

Hackers Value Added Tax​ (VAT) Inland Revenue Department
By Wayomi Feb 08, 2024 10:23 AM GMT
Report

බදු ගෙවන්නන් හඳුනාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති TIN අංකයට අදාළ බැංකු කටයුතු සඳහා බව පවසමින් සිදු කළ මුදල් වංචාවක් කළ හැකර් කල්ලියක් ගැන පුවතක් වාර්තා වෙනවා.

ඒ, අනුව එම හැකර් කල්ලිය TIN අංකයට අදාළ බැංකු කටයුතු සඳහා බව පවසමින් බැංකුවෙන් කතා කරන ආකාරයට කතා කර ජනතාව රවටා සූක්ෂම ආකාරයට පෞද්ගලික බැංකු ගිණුම්වලින් මුදල් වංචා කර තිබෙනවා.

මේ වනවිට එම වංචනික කල්ලිය හමුවේ රුපියල් ලක්ෂ ගණනින් මුදල් අහිමි කරගත් පිරිස පිළිබඳව තොරතුරු ලැබී ඇති බවයි කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසන්නේ.

රාජ්‍ය බැංකුවක කාර්ය මණ්ඩල සාමාජිකයන් ලෙස දුරකථනයෙන් අමතා TIN අංකයට අදාළව බැංකුවේ ගිණුමක් පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳව දැනුවත් කරන ජාවාරම්කරුවන් ඉන් පසුව එම ගිණුම සකස් කිරීමට අවශ්‍ය වන බැංකු ගනුදෙනුකරුගේ මුදල් හුවමාරු රහස් අංකය (OPT) ඉල්ලා සිටිනවා.

එලෙස තමන් හසුවී සිටින්නේ වංචනිකයෙකුට බව නොදැන ඇතැම් පිරිස් මෙම රහස් අංකය වැඩිදුර සොයා බැලීමකින් තොරව ඔවුන්ට ලබාදීමට කටයුතු කර තිබෙනවා.

එම රහස් අංකය ලබාගන්නා වංචනික කල්ලිය තමන් සමඟ සම්බන්ධ වූ පුද්ගලයාට අයත් බැංකු ගිණුමට ඇතුළත් වී එහි ඇති මුදල් ලක්ෂ ගණනින් ලබාගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතා කියා සිටියා.

එලෙස තම ගනුදෙනුකරුවන් රවටන මෙම වංචනික කල්ලිය මේ වනවිට කුරුණෑගල නගරයේ ප්‍රධාන පිරිවෙන් අධ්‍යාපන ආයතනයක සේවය කරන හිමිනමකගේ ගිණුමකින් ඊයේ (07) රුපියල් 208,000ක මුදලක් ලබාගෙන ඇති අතර, උන්වහන්සේ කුරුණෑගල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම පසුගිය සතියේ තවත් අයෙකුගේ ගිණුමකින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ද වංචනිකව ලබාගෙන ඇති බව රාජ්‍ය බැංකුවක අභන්තර ආරංචි මාර්ග පවසනවා.

මෙවැනි ආකාරයට දුරකථන මඟින් කතා කර පෞද්ගලික තොරතුරු විමසන වංචනිකයන්ට හසු නොවන ලෙස ජනතාවට දැනුම් දෙන නියෝජ්‍ය පොලිස්පතිවරයා, මේ සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලූම පොලිස් ස්ථාන හරහා ජනතාව දැනුවත් කිරීමට පියවර ගැනීමට නියමිතයි.

මේ අතර මහජන බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මහජන බැංකුවේ විවිධ බැංකුකරණ සේවාවන් ලබාදෙන බව පවසමින් සංවිධානය වූ කිසියම් වංචාකාරී කණ්ඩායමක් ගිණුම්හිමියන්ගේ රහස්‍ය තොරතුරු ලබාගැනීමේ උත්සාහ කරමින් සිටින බවයි.

එමෙන්ම මහජන බැංකුව විසින් කිසිවිටකත් බැංකු ගිණුම් විවෘත කිරීමට හෝ බැංකුකරණ කටයුතු සිදුකිරීමට බැංකුව වෙනුවෙන් තෙවැනි පාර්ශවයක් යොදවන්නේ නැති බව ද එම නිවේදනයෙන් සඳහන්.

ඒ,අනුව ගිණුම් අංක, ජාතික හැඳුනුම්පත් අංක, මුරපද, පරිශීලක නාම සහ OPT අංක වැනි පෞද්ගලික තොරතුරු වෙනත් තෙවැනි පාර්ශවයක් වෙත අනාවරණය නොකරන ලෙස ද මහජන බැංකුව ජනතාවට දැනුම් දෙනවා.