තරුණියගේ යට ඇදුම නිසා සිදුවෙන්න ගිය ලොකු විනාශයක් නූලෙන් බේරෙයි...

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Aruna Feb 13, 2024 01:09 AM GMT
Report

අවිගත් අපරාධකරුවන් මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ අලුයම කඩාවැදී එහි බීලූනූ තොග වෙළෙඳසලක ලාච්චුවේ මුදල් කොල්ල කෑමේ තැන වැරැදිගොස් ඇත්තේ වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලද තරුණිය නොබියව කොල්ලකරුවන්ට මුහුණ දීම නිසා බව අනාවරණය වී තිබෙනවා.

වෙළෙඳසලේ මුදල් අයකැමි ලෙස සිටි මෙම තරුණිය එක් ලාච්චුවක යතුර තම යට ඇඳුමේ සඟවාගෙන සිටි නිසා කොල්ලය ව්‍යර්ථ වී ඇත.

එම මොහොතේ අදාල ලාච්චුවේ රුපියල් කෝටියකට අධික මුදලක් තිබී ඇති අතර යතුර සඟවා තිබීම නිසා කොල්ලකරුවන්ට එය විවෘත කරගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

‘‘ඒයි කෙල්ලේ මෙහෙ වරෙන් යතුර දීපන්’’ කියමින් කොල්ලකරුවන් තුවක්කුව දික්කර බැණවදිද්දි ‘‘මගේ ළඟ යතුරු නැහැ’’ කියමින් තරුණිය කෑගසනවාත් සමග තුවක්කුව ඇතැතිව සිටි කොල්ලකරු අතින් තුවක්කුව පත්තු වී තිබේ.

එහිදී මූණිස්සම් තුනක් තරුණියගේ උදරයට ඉහළින් වැදී ඇති බවත්, අවට බිත්තිවල මූනිස්සම් කැබලි දහයක් පමණ වැදී තිබූ බවත් පැවසේ.

කොල්ලකරුවන් දෙදෙනා රැගෙනවිත් ඇත්තේ ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක් වන අතර පිරිස බියවැද්දීමට යාමේදී තුවක්කුව පත්තු වන්නට ඇතැයි සී.සී.ටී.වී. දර්ශන පරික්ෂාවේ දී පෙනී යන බවයි පොලීසිය පවසන්නේ.

ඊයේ (12 වැනිදා) අලුයම 1.25ට පමණ කොල්ලකරුවන් දෙදෙනා මීගොඩ දාම්පේ මාර්ගයෙන් ආර්ථික මධ්‍යස්ථානයේ දෙවැනි කඩපෙළ වෙත යතුරු පැදියෙන් පැමිණ තිබේ.

කොල්ලකරුවන්ගේ ඉලක්කය වූ බීලූනූ තොග වෙළෙඳසලේ සිට මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ආරක්ෂාවට යෙදවූ පොලිස් මුරපොළට ඇත්තේ දුර මීටර් දහයක් පමණයි.

මෙම සිදුවීම වන මොහොතේ මුරපොළේ ස්ථානාධිපතිවරයා හා රාජකාරියට යොදවා සිටි දෙදෙනා නිදාගෙන සිට ඇත බවයි ව්‍යාපාරිකයෝ චෝදනා කර සිටින්නේ.

ව්‍යාපාරිකයෝ පෙන්වා දෙන්නේ, සාමාන්‍යයෙන් මෙම ආර්ථික මධ්‍යස්ථානයට අටදෙනකු පමණ රාත්‍රි රාජකාරි සඳහා ආරම්භ කාලයේදී යොදවා තිබුණද කාලයක් තිස්සේ පොලිසියේ දෙතුන් දෙනා රාත්‍රි රාජකාරි සඳහා යොදවා තිබූ බවයි.

මුරපොළේ ස්ථානාධිපති ලෙසින් සිටින උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කිහිපදෙනාට බැංකු, ගේට්ටු ඇතුළු සියලුම ස්ථානවල පොත් අත්සන් කිරීම හා රාජකාරි පැවරී තිබී ඇති බවයි පැවසෙන්නේ.

පෙරේදා (11 වැනිදා) දහවල් අගමැතිවරයා මීගොඩ වටරැක විහාරස්ථානයකට පැමිණ ඇති අතර එහි විශේෂ රාජකාරි සඳහා මුරපොළේ ස්ථානාධිපති ඇතුළු තිදෙනා පෙර්දා (11 වැනිදා) අලුයම සිට ගොස් ඇතැයි වාර්තා වේ.

අගමැතිගේ විශේෂ රාජකාරි අවසන්ව නැවත පැමිණ පෙරේදා (11 වැනිදා) රාත්‍රිය වනතුරු ආර්ථික මධ්‍යස්ථානයේ ආරක්ෂාවත් භාරව තිබී ඇත. ඒ අතරේ ඊයේ (12 වැනිදා) අලුයම වන විට මෙම තිදෙනා නින්දට වැටෙන්නට ඇතැයි විමර්ශකයන් සැක පහළ කරයි.

මෙම මුරපොළෙට අනුයුක්ත කර තිබූ තවත් පස්දෙනෙකු පමණ විශේෂ රාජකාරි සඳහා රැගෙන ගොස් තිබී ඇතැයිද හෙළි වී ඇත. මංකොල්ලය සිදුවන අවස්ථාවේ එය ලොරියක සිට දැක ඇති ලොරි රියැදුරකු නොනවත්වා ලොරියේ නළාව නාද කරන්නට වුවත් පොලිසියේ කිසිවෙකුත් එම ස්ථානයට පැමිණ නැති බවයි පැවසෙන්නේ.