අක්කර 3ක් ගිනිබත් කළ යුවළගේ ගිනි කූර

Kurunegala Sri Lanka
By Sewvandhi Aug 19, 2023 02:02 PM GMT
Report

කුරුණෑගල ඇතුගල කන්ද නැරඹීමට ගිය යුවළක් දැල්වූ ගිනිකූරකින් ඇතුගල රක්ෂිතයේ අක්කර තුනක පමණ ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී තිබේ.

අද (19)කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය විසින්, පොලිස් අත්අඩංගුවට පත්වූ පෙම්වතුන් දෙදෙනා එළඹෙන 21ක් වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය.

අද(19) උදෑසන මෙම යුවළ කුරුණෑගල පොලිස් වසමේ ඇතුගල කඳු මුදුනේ පිහිටි බුදුපිළිමය නැරඹීමට පැමිණ තිබුණි. පොලිසිය පැවසුවේ, දෙදෙනාගේ පළමු හමුව වූ අද තරුණයාගේ සාක්කුවෙන් ගිනිපෙට්ටියක් හමුවීමත් සමග තරුණිය ඒ පිළිබඳ ප්‍රශ්න කර ඇති බවය.

මෙහිදී තරුණිය ගිනිපෙට්ටියේ තිබූ ගිනිකූරු දෙක දල්වා රක්ෂිතයට විසිකිරීම හේතුවෙන් එහි ගින්නක් හටගෙන තිබුණි. මෙය දුටු ප්‍රදේශවාසීන් ඒ පිළිබඳ පොලීසියට දන්වා ඇති අතර කුරුණෑගල නගරසභා සේවකයින්ගේ සහායෙන් ගින්න මැඩපවත්වනු ලැබීය.

ගින්නෙන් විනාශ වූ ප්‍රදේශය අක්කර 03ක් බව පොලීසිය පවසයි. ගින්නත් සමග පහළට දිවගොස් ඇති පෙම්වතුන් දෙදෙනා පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් යුවළ මාතලේ සහ මහව ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 24 සහ 20 යන වයස්වල පසුවන්නන්ය.

පොලීසිය පැවසුවේ තරුණයා යුද හමුදා සෙබළෙක් බවය. අත්අඩංගුවට ගත් යුවළ කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.