අටලුගම ඝාතකයාගේ දූෂණ තැතක් හෙලිවෙයි

Sri Lanka Atulugama Child Murder
By Sewvandhi Jun 01, 2022 04:12 PM GMT
Report

අටුලුගම ෆාතිමා අයිෂා දැරිය ඝාතනය කළ බවට පාපොච්චාරණය කළ සැකකරු මින් පෙර අවස්ථාවකදී ද එම ප්‍රදේශයේ කාන්තාවකට අතවර කිරීමට උත්සාහ කර ඇති බවට අද (01) අනාවරණය විය.

සිද්ධියට මුහුණ දුන් කාන්තාව පවසන්නේ පොලීසියට පැමිණිලි කළ ද ඔවුන් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගත් බවය. එම අවස්ථාවේදී පොලීසිය නිසි පියවර ගෙන තිබුණා නම් ෆාතිමා දැරිය ට මෙවැනි ඉරණමක් අත්නොවන බවද එම කාන්තාව සඳහන් කළාය.

පසුගිය පෙබරවාරි මාසයේදී එම සිද්ධිය වාර්තා වී තිබේ. අදාළ කාන්තාව සිටි නිවසට රහසිගතව ඇතුළුවී ඇති එම සැකකරු එහිදී ඇයට අතවර කිරීමට උත්සාහ ගෙන තිබේ. අදාළ සිද්ධියට මුහුණ දුන් කාන්තාව සඳහන් කළේ,

"මම පෙරපාසල් ගුරුවරියක් ලෙස කටයුතු කළා. මම දරුවන් දෙදෙනා සමග ගෙදර නිදාගෙන සිටියදී මගේ කට තදකරා. ඒත් එක්කම මට ඇහැරුණා. මාව කඹයකින් ගැටගහන්න හැදුවා. මම කෑගැහුවා. ඒත් එක්කම ඔහු පැනලා ගියා."

බණ්ඩාරගම අටුලුගම ෆාතිමා අයිෂා දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පසුගියදා පාපොච්චාරණය කළේ තමා ප්‍රදේශයේ වගුරු බිමකදී දැරිය ව ඝාතනය කළ බවය. තමා එහිදී දැරිය දූෂණය කරන්නට උත්සාහ කළ බවත් දැරියගේ කෑගැසීම නිසා තමා බියට පත්වූ බවත් ඔහු සඳහන් කර තිබුණි.

ෆාතිමා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෙම සැකකරු අද යළිත් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි. අප වාර්තාකරුවන් සඳහන් කළේ සැකකරු වෙනුවෙන් කිසිඳු නීතිඥයෙකු පෙනී නොසිටි බවය.

සැකකරු අද මහෙස්ත්‍රාත්වරයා හමුවේ රහස් ප්‍රකාශයක් ද සිදුකර තිබුණි. කරුණු සලකාබැලූ පානදුර මහෙස්ත්‍රත්වරයා සැකකරු මේ මස 9 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now