සුදුසුකම් නොලැබූ අස්වැසුම ප්‍රතිලාභීන් වෙනත් දීමනාවක් - අලුතින්ම ගත් තීරණය

Ranil Wickremesinghe Shehan Semasinghe Sri Lanka Financial crisis
By Sewvandhi Jul 31, 2023 01:32 PM GMT
Report

 මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ, දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබූ පවුල් 393,094කට සමෘද්ධි දීමනාව තව දුරටත් ලබා දීමට තීරණය කළ බවයි.

දැනට සමෘද්ධි සහනාධාරය ලබන පිරිස අතරින් පවුල් 1,280,000ක් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ සඳහා අයදුම් කර ඇති අතර ඉන් පවුල් 887,653ක් සුදුසුකම් ලබා ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.  අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට ඉදිරිපත්ව ඇති අභියාචනා සහ විරෝධතා සලකා බැලීමේ කටයුතු කඩිනමින් සිදුවෙමින් පවතින අතර එය අවසන් වූ වහාම නව අයදුම් පත් භාරගැනීම ද ආරම්භ කරන බවයි.

දැනට පවුල් 1,792,265ක් අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඉන් 946,612ක් සුබ සාධන ප්‍රතිලාභ ලැබීම සඳහා අලුතින් ඇතුළත් වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අස්වැසුම පවුල් ලක්ෂ 20ක් වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති අතර අභියාචනා සහ විරෝධතා පිළිබඳ සලකා බැලීමෙන් පසු එම ඉලක්කය කරා ළඟාවීමට හැකි වනු ඇති බව ද සේමසිංහ මහතා පැවැසීය.

මේ අතර දැනට වැඩිහිටි, වකුගඩු සහ ආබාධිත ආධාර ලබන පිරිස වෙනුවෙන් මීට පෙර ක්‍රියාත්මක වූ පරිදි ම අදාළ මුදල් ගෙවීම සිදුකරනු ලබයි. ඒ අනුව වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මඟින් ද වකුගඩු සහ ආබාධිත දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ද ලබා ගැනීමේ හැකියාව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනට ආගමික ස්ථානවල සිටින පූජ්‍ය පක්ෂයට, වැඩිහිටි නිවාස, ළමා නිවාස සහ ආබාධිත මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන් 11,660 දෙනාට ද පෙර පරිදි සිය දීමනා හිමි වනු ඇත.