විදුලි බිලේ ඒකක ප්‍රමාණය අනුව ලඟදීම කරන්න යන දේ..අද සිටම සූදානමින් ඉන්න..
ජනවාරි මාසයේ ආරම්භ වීමට නියමිත අස්වැසුම වැඩසටහනේ දෙවන අදියරේදී දරිද්‍රතාවය එකම නිර්ණායකය විය යුතු අතර දරිද්‍රතාවය මැනීම සදහා අඩු නිර්ණායක ප්‍රමාණයක් යොදා ගත යුතු බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා උපදෙස් ලබා දී තිබේ.
කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේ, අස්වැසුම පළමු පියවර අසාර්ථක වීමට හේතු වූයේ යොදා ගත් පරාමිතීන් සංඛ්‍යාව වැඩි වීම හා එම පරාමිතීන්වලට තබන ලද බර හේතු වූ බවයි.
කාරක සභා සභාපතිවරයා මේ බව සඳහන් කළේ, අස්වැසුම සමාජ සුබසාධන වැඩසටහනේ ප්‍රගතිය සහ වර්තමාන තත්ත්වය පිළිබද විමසා බැලීම සදහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට කැඳවා තිබූ අවස්ථාවේදීයි.
එමෙන්ම, දරිද්‍රතාවය මැනීම සඳහා විදුලි බිල යොදාගැනීමේ වැදගත්කම යළි අවධාරණය කළ කාරක සභා සභාපති පාඨලී චම්පික රණවක මහතා විදුලි ඒකක 30ට අඩු විදුලි පරිභෝජනය යන පරාමිතිය මේ සඳහා භාවිතා කළ හැකි බවයි ප්‍රනාශ කර සිටියේ.
ලංකා විදුලි බල මණ්ඩලය හා සම්බන්ධීකරණය කරගනිමින් එම පරාමිතිය භාවිත කිරීමට කටයුතු කරන ලෙස ද උපදෙස් දෙනු ලැබුවා.
එමෙන්ම, විදුලි බිල යන පරාමිතිය සඳහා 60%ක බර තැබීමක්ද, දරිද්‍රතාවය මැනීම සඳහා භාවිතා කරන අනෙකුත් පරාමිතීන් සඳහා 40%ක බර තැබීමක් ද කරන ලෙසටයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත උපදෙස් ලබා දී ඇත්තේ.
සුබසාධක ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කිරීමක් සිදු කළ ද, රජයට හෝ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත ජනතා ප්‍රසාදයක් හිමි නොවීමට හේතුව ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී සිදුවූ දුර්වලතා හේතුවෙන් බව පෙන්වා දුන් සභාපතිවරයා, උගත්, විරැකියාවෙන් පෙළෙන 20% කට වැඩි පිරිසක් වෙසෙන ශ්‍රී ලංකාව සඳහා අප්‍රිකාව වැනි රටවලට ගැලපෙන පරාමිතීන් නොගැලපෙන බව ද අවධාරණය කළා.
ජූලි මාසයේ අස්වැසුම ප්‍රතිලාභීන් 1,367,524ක් සඳහා රුපියල් 8,525,999,000ක මුදලක් ද, අගෝස්තු මාසයේ ප්‍රතිලාභීන් 1,365,076ක් සඳහා රුපියල් 8,496,698,750ක් ද ගෙවා ඇති බව මෙහිදී හෙළි වුණා.
මෙහිදී සඳහන් කෙරුණේ, 2024 අයවැය මගින් අස්වැසුම වැඩසටහන සඳහා බිලියන 180.5ක් වෙන් කර ඇති අතර ඒ අනුව මිලියන දෙකකට මෙම ප්‍රතිලාභය ලබා දිය හැකි බවයි.
අස්වැසුම සම්බන්ධයෙන් අභියාචනා 1,000,000ක් ලැබී ඇති බවත් ඉන් මේ වන විට අවසන් කර ඇත්තේ 2,00,000ක් පමණක් බවත් මෙහිදී හෙළිවී ඇත.
ඒ අනුව, ඉන් 119,794ක ප්‍රමාණයක් වැඩසටහනට ඇතුලු කර ගෙන ඇති අතර, 4655ක අභියාචනා ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කර ඇත.
අස්වැසුම හා සමෘද්ධි ප්‍රතිලාභීන් දැනට ලක්ෂ 18ක් සිටින බවත් ඉන් ලක්ෂ 395,000ක් වන සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාවක් අස්වැසුම වැඩසටහනට ඇතුලත් වී නොමැති බවත් මෙහිදී අනාවරණය වූ අතර අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව දෙසැම්බර් මාසය වනතුරු මෙම සියලු දෙනා ප්‍රතිලාභ ලබන බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.
එම පිරිසට හා මෙතෙක් අස්වැසුම වැඩසටහන සදහා ඉල්ලුම් නොකළ සමෘද්ධි ප්‍රතිලාභීන්ට ජනවාරි මාසයේ ආරම්භ වන අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම් කළ හැකි බවයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් කියා සිටියේ.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් කියා සිටියේ, ප්‍රතිලාභීන් තෝරාගැනීමේ ක්‍රියාවලිය සඳහා ග්‍රාමීය මට්ටමේ විශේෂිත නිලධාරින් අවශ්‍ය වන අතර, ඒ සඳහා නිශ්චිත වශයෙන් ම වෙන් වූ නිලධාරියෙක් සිටීම අත්‍යවශ්‍ය බවයි.
ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව සම්බන්ධ ගැටළුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණයෙන් විසඳා ගෙන අභියාචනා ක්‍රියාවලිය සඳහා ඔවුන් සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම කාරක සභා සභාපතිවරයා වැඩි දුරටත් අවධාරණය කළේය.