රටපුරා සන්නද්ධ හමුදා කැඳවලා.
මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙනවා.
හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ විධිවිධාන අනුව මෙම ආඥාව නිකුත් කර ඇති බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (22) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.
මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනපති සතු බලතල
නිදහස ලැබීමට පෙර පනවන ලද මහජන ආරක්ෂක ආඥා පනත මගින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමට සහ එහි 5 වන වගන්තිය යටතේ මහජන ආරක්ෂාව වෙනුවෙන් හෝ මහජන සාමය පවත්වාගෙන යාම සහ කැරැල්ලක් මැඩපැවැත්වීම හෝ ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන සැපයුම් සහ සේවාවන් පවත්වාගෙන යෑම සඳහා හදිසි අවස්ථා රෙගුලාසි පැනවීමට ජනාධිපතිවරයාට (එවකට අග්රාණ්ඩුකාරවරයාට 1948 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මෙම ධුරය අවසන් වරට මෙරට තුළ ක්‍රියාත්මක විය.) බලය පැවරුණා.
මහජන ආරක්ෂක පනතේ 5 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් පනවනු ලබන හදිසි නීති රෙගුලාසි වලංගු වන්නේ මාසයක කාලයක් සඳහා පමණක් වන අතර, ඒවා වලංගුව තබා ගැනීම සඳහා මාසයකට වරක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුයි. මහජන ආරක්ෂක පනත යටතේ තවත් විශේෂ බලතල සමූහයක් ද ජනාධිපතිවරයාට පැවරී තිබෙනවා.
ඒ අතර පැවරී ඇති බලතල ප්‍රකාරව අතර, 12 වන වගන්තිය මගින් සන්නද්ධ හමුදා රාජකාරි සඳහා කැඳවීමේ බලය ද, 16 වන වගන්තිය යටතේ ඇඳිරිනීතිය පැනවීමේ බලය ද, 17 වන වගන්තිය යටතේ යම් යම් සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම් කිරීමේ බලය ද ජනාධිපතිවරයා සතුවනවා. හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබුණ ද නොතිබුණ ද මෙම විශේෂ බලතල ක්‍රියාත්මක කළ හැකිවීම ද 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලබා දී ඇති බලයක්.