විසර්ජන පනතට මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවෙයි..!

Parliament of Sri Lanka Sri Lanka Harsha de Silva
By Sewvandhi Nov 10, 2023 01:38 PM GMT
Report

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය, 2024 මූල්‍ය වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට හිමි ව තිබේ.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ, විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරු ව ආචාර්‍ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ගේ සභාපතීත්වයෙන් යුත් මුදල් කාරක සභාව ඊට අනුමැතිය ලබා දී ඇති බවයි.

කෙසේ වෙතත් වාර්ෂික අයවැය යෝජනාවලින් විශාල ප්‍රමාණයක් යෝජනාවලට පමණක් සීමා වීම ගැටලුවක් බව කමිටු සභාපතිවරයා එහි දී පෙන්වා දී ඇති අතර, මෙය නරක පූර්වාදර්ශයක් බැවින් මෙම තත්ත්වය වළක්වා ගනිමින් අයවැය පසුවිපරමක් සිදු කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කර තිබේ.

මේ අතර මුදල් කාරක සභාව මඟින් ද ඉදිරි අයවැයට අදාළ පසුවිපරම සිදු කළ යුතු බව එහි දී සාකච්ඡා වී ඇත. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වාර්ෂික අයවැය පරතරය 5%කට අඩු අගයක පවත්වා ගත යුතු බවට මුදල් නීති රෙගුලාසිවල නෛතික ප්‍රතිපාදන තිබුණ ද එය ප්‍රායෝගික ව ක්‍රියාත්මක නොවීම පිළිබඳ මුදල් කාරක සභාවේ අවධානය යොමු වූ බවයි.

මේ අතර, මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෘත්තීය සමිති රැසක් අද ප්‍රදේශ කිහිපයක විරෝධතා උද්ඝෝෂණ සංවිධාන කර තිබිණි.