මත්ද්‍රව්‍ය විනාශ කිරීම සහ ඇප ලබාදීමේ නීති සංශෝධනයට අනුමැතිය

Latest Headlines Sinhala news NPP Government Puwath.lk Narcotics Control Unit
By R.rishma Oct 21, 2026 10:01 AM GMT
Report

මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලදී ඇප ලබාගැනීමේ විධිවිධාන සංශෝධනය කිරීම සහ කංසා ශාකය පිළිබඳ නීතිමය නිර්වචනය පැහැදිලි කිරීම අරමුණු කරගත් පනත් කෙටුම්පත් දෙකක් සඳහා අනුමැතිය හිමිව තිබේ.

රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මෙම පනත් කෙටුම්පත් සලකා බැලීමෙන් අනතුරුව, නීතිපතිවරයාගේ අනුමැතියට යටත්ව ඒවා අනුමත කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ කාරක සභාවේදී, රජයේ භාරයේ පවතින මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීම කඩිනම් කිරීම සහ එම ක්‍රියාවලියේ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා යෝජිත නීති සංශෝධන පිළිබඳව නිලධාරීහු කරුණු පැහැදිලි කළහ.

ඒ අනුව, රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව දින 60ක් ඇතුළත ලබාගැනීම, එම වාර්තාව ලැබීමෙන් පසු දින 15ක් ඇතුළත අධිකරණ නියෝගය ලබාගැනීම සහ එම නියෝගයෙන් පසු දින 14ක් ඇතුළත මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා කාලසීමා නියම කිරීමට යෝජනා කර තිබේ.

සැකකරුවකු නොමැති හෝ අතහැර දමා ගොස් ඇති මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ද නීතිමය ක්‍රියාපටිපාටියට අනුකූලව විනාශ කිරීමේ කටයුතු කඩිනම් කිරීමට යෝජිතය.

මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලිය ඡායාරූපගත කිරීම හා වීඩියෝගත කිරීම, අවශ්‍ය අවස්ථාවක දෙවන රසායනාගාර පරීක්ෂණයක් සඳහා සාම්පලයක් සුරක්ෂිතව තබාගැනීම සහ විශාල මත්ද්‍රව්‍ය තොගවලින් නියෝජිත සාම්පල ලබාගැනීමේදී විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කිරීම ද යෝජිත සංශෝධන අතර වේ.

මේ අතර, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලදී ඇප ඉල්ලා සිටීමේ නීතිමය විධිවිධාන සංශෝධනය කිරීමට ද යෝජනා කර තිබේ. ඒ අනුව, ග්‍රෑම් 100 දක්වා බරක් සහිත මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇප ඉල්ලීම් අදාළ මහාධිකරණයටත්, එම බර සීමාව ඉක්මවන අවස්ථාවලදී අභියාචනාධිකරණයටත් ඉදිරිපත් කිරීමට අදාළ විධිවිධාන යෝජනා කර ඇත.

මීට පෙර පැවති ග්‍රෑම් 10ක සීමාව සංශෝධනය කිරීමේ අරමුණ වන්නේ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම ඇතුළු හේතු මත සැකකරුවන් දිගු කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම අවම කිරීම සහ බන්ධනාගාර තදබදය අඩු කිරීමට දායක වීම බව ද කාරක සභාවේදී පැහැදිලි කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ වැරදි සම්බන්ධයෙන් විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනතේ 54(1) වගන්තියට අදාළ විධිවිධාන සංශෝධනය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.

 අදාළ පනත් කෙටුම්පත් දෙකට සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අනුව ඉදිරිපත් වූ සංශෝධන සහ අතිරේක සංශෝධන ද සලකා බැලීමෙන් අනතුරුව, ඒවා නීතිපතිවරයාගේ අනුමැතියට යටත්ව අනුමත කිරීමට කාරක සභාව පියවර ගෙන තිබේ.