කළමනාකරණ සේවා නිලධාරී සේවයට නිලධාරීන් 1,252කට පත්වීම් හෙට
කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියට නිලධාරීන් 1,252 දෙනෙකු සඳහා පත්වීම් ලිපි හෙට (07) ප්‍රදානය කිරීමට නියමිතව තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ සහභාගීත්වයෙන් මෙම පත්වීම් ප්‍රදානය අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.
2025 ඔක්තෝබර් 05 දින පැවති විවෘත තරග විභාගයට අයදුම්කරුවන් 85,000කට ආසන්න පිරිසක් පෙනී සිට ඇති අතර, විභාග ප්‍රතිඵල සහ 2026 මැයි 22, 23 සහ 24 යන දිනවල පැවති සම්මුඛ පරීක්ෂණ ලකුණු මත මෙම පත්වීම් ලබාදීමට තෝරාගෙන ඇත.
මූලික සුදුසුකම ලෙස උසස් පෙළ අවශ්‍ය වුවද, මෙම බඳවා ගැනීම් සඳහා උපාධිධාරීන් ද සැලකිය යුතු පිරිසක් සුදුසුකම් ලබා ඇති බවද සඳහන් වේ.
පත්වීම් ලබන සියලුදෙනාම වයස අවුරුදු 18–29 අතර තරුණ තරුණියන් වන අතර, ඔවුන් අතරින් 1,006 දෙනෙකු සිංහල මාධ්‍යයෙන්, 217 දෙනෙකු දෙමළ මාධ්‍යයෙන් සහ 29 දෙනෙකු ඉංග්‍රීසි මාධ්‍යයෙන් බඳවාගෙන ඇත.
කළමනාකරණ සේවා නිලධාරී සේවයේ පවතින පුරප්පාඩු 1,615ක් පවතින අතර, පළමු අදියරේදී 1,252 දෙනෙකු පමණක් බඳවාගෙන ඇති බවත් ඉතිරි පිරිස දෙවන අදියරකදී බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා පවසයි.
2021 වසරෙන් පසු රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් නොවීම හේතුවෙන් නිලධාරී හිඟයක් පවතින බවද ඔහු පෙන්වා දෙයි.
එම තත්ත්වය යටතේ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව 2025 වසරේදී 35,000කට අධික පිරිසක් රාජ්‍ය සේවයට බඳවාගෙන ඇති අතර, මෙම වසරේදී ලක්ෂයකට අධික පිරිසක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.