අතුරුදන් වූ බහාලුම් 23 සොයාගන්න තවත් මාස තුනක්? සුරේන් රාඝවන්ගෙන් හෙළිදරව්වක්
රජයේ ක්රියාමාර්ග සහ ආර්ථික කළමනාකරණය විවේචනය කරමින් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්ය ලේකම් සුරේන් රාඝවන් මහතා අද (28) කොළඹදී අදහස් පළ කළේය.
ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්ය හමුවකදී ඔහු සඳහන් කළේ අතුරුදන් වූ බහාලුම් 23 සොයා ගැනීමට තවත් මාස තුනක කාලයක් ගතවනු ඇති බවට දැනුම් දී ඇති බවයි. ඉදිරි පොහොය දින තුනේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද රජය විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඔහු පැවසීය.
නීතියේ ආධිපත්යය පිළිබඳ රජයේ ප්රතිපත්තිය විවේචනය කළ රාඝවන් මහතා, රටේ ආර්ථික කළමනාකරණය ද දැඩි අර්බුදයකට ලක්ව ඇති බවට චෝදනා කළේය. ලීසිං පහසුකම් සහ අධ්යාපන කටයුතු සඳහා අධික පොලී අනුපාත අය කරන බවට ද ඔහු රජයට චෝදනා කළේය.
රටේ ආර්ථික දුෂ්කරතා පවතින අවස්ථාවක නව වාහන 1,750ක් ගෙන්වීමේ අවශ්යතාව පිළිබඳව ජනාධිපතිවරයා අවධාරණය කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
එමෙන්ම, රජය යෝජනා කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ප්රජාතන්ත්රවාදයට තර්ජනයක් විය හැකි බවට අනතුරු ඇඟවූ ඔහු, රටේ ගල් අඟුරු සංචිත සම්බන්ධයෙන් ද ගැටලු පවතින බව ප්රකාශ කළේය.
බන්ධනාගාරගත බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අදාළ නීතිමය ක්රියාපටිපාටි සංශෝධනය කිරීම පිළිබඳව ද අදහස් දැක්වූ රාඝවන් මහතා, භික්ෂූන් වහන්සේලා, ආණ්ඩුක්රම ව්යවස්ථාව සහ රජය අතර පවතින සම්බන්ධතාව පිළිබඳව ද කරුණු අවධාරණය කළේය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ තම පක්ෂයට විශාලතම දේශපාලන පාඩුව සිදු කළ බව පිළිගන්නා නමුත්, එම පක්ෂය කෙරෙහි තමන් තුළ කෝපයක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.