තරුණ ප්‍රජාවටත් රාජ්‍ය පාලනයට ඉඩ.

Ranil Wickremesinghe Government Of Sri Lanka
By Wayomi Nov 01, 2022 09:25 AM GMT
Report

රටේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී තරුණ ප්‍රජාවට වැඩි අවස්ථාවක් ලබාදීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්තිය ශක්තිමත් කෙරෙන, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (31) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

මෙහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ 262 වන අධිකාරය වූ පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කර ඇති තම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මගින් “ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමය" වඩාත් ශක්තිමත් කිරීම සඳහා මැතිවරණවලදී තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් සලසා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තියට ව්‍යවස්ථාමය අගයක් එක් කරන බවයි.

පළාත් පාලන මැතිවරණයන්හි පළමු සහ දෙවන නාම යෝජනා ලැයිස්තුවල අවම වශයෙන් 25%ක තරුණ නියෝජනය තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙම කෙටුම්පතෙහි ඇතුළත් බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළා.

1990 තරුණ අසහනය පිළිබඳව සොයා බැලීමට පත්කරන ලද විශේෂ කොමිසමේ නිර්දේශවලට අනුව තරුණයන් සඳහා ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ක්‍රමයන්හි දී වැඩි අවස්ථා ප්‍රමාණයක් සහතික කිරීමේ වැදගත්කම ඉස්මතු කර තිබු බවත්, 1990 දී පළාත් පාලන ආඥා පනතට සංශෝධනයක් එක්කරමින් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පළාත් පාලන නාම යෝජනා ලැයිස්තු සකස් කිරීමේදී 40%ක අවස්ථා ප්‍රමාණයක් තහවුරු කිරීමට ප්‍රතිපාදන හඳුන්වා දෙනු ලැබුවේ ඒ අනුව බවත් දොලවත්ත මහතා පවසනවා.

එහෙත් පසුකාලීනව පළාත් පාලන ආයතනවල 25%ක කාන්තා නියෝජනය තහවුරු කරමින් සාධනීය පියවරක් ගනු ලැබුවත් ඊට අදාළ සංශෝධනයේ දී තරුණ නියෝජනය අනිවාර්ය කිරීමේ කොන්දේසිය ගිලිහී ගිය බව පෙන්වාදුන් ප්‍රේමනාත් සී.දොලවත්ත මන්ත්‍රීවරයා එම අවස්ථාව නැවත තරුණ ප්‍රජාවට හිමිකර දෙමින් රටේ අනාගත ජීවනාලිය බඳු තරුණ ප්‍රජාව තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා සක්‍රීයව දායක කර ගැනීමටත් තම යෝජනාව ඉවහල් වනු ඇතැයි විශ්වාස කරන බව ද සඳහන් කළා.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW