අලි සබ්‍රි ට තවත් බරපතළ චෝදනාවක් - වසර ගණනාවක් සිදුකළ වංචාවක් එළියට එයි..!
පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී, පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා විසින් වසර ගණනාවක් පුරා රජයට අයත් අක්කර 214ක භූමියක් අනවසරයෙන් භුක්ති විඳ ඇතැයි අනාවරණය වී තිබේ.
එහිදී අනාවරණය වී ඇත්තේ, එම ඉඩම පෞද්ගලික සමාගමක් නමිත් ලුණු නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇති බවයි.
කෙසේවෙතත් පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී වසර 14ක පමණ සිට මෙම ඉඩමෙන් රජයට බදු නොගෙවීම හේතුවෙන් රුපියල් කෝටි 20ක ආසන්න මුදලක් පාඩුවක් සිදුව ඇතැයි ද හෙළිවී ඇත.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරන ලෙස නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත දැනුම්දෙන බව පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න මහතා පැවසීය.
"පුත්තලම දිස්ත්‍රික්කයේ රජයේ ඉඩමක් වසර ගණනාවක් එයාලා අනවසරයෙන් අක්කර 214ක් ලුණු නිෂ්පාදනය කරලා තියෙනවා. මේ ගැන හොයලා බලලා කල්පිටියේ හිටපු ප්‍රාදේශීය ලේකම්තුමා මේ අයට දැනුවත් කරලා තියෙනවා මේ ඉඩමට බදු ගෙවන්න කියලා. මේ අය බදු ගෙවලා නෑ. බදු ගෙවලා නැති නිසා එතුමා මේක සම්පුර්ණයෙන්ම රජයට පවරාගෙන තියෙනවා. එතකොට ඒ සියලුදේ රජයට අයිති වෙනවා. මේක අනවසරයෙන් අවුරුදු 15ක් වගේ භුක්ති විඳලා තියෙනවා.
රු 10ක් වත් රජයට බදු ගෙවන්නේ නැතිව. මේ කූඨ ව්‍යාපාරිකයා දේශපාලනයට සම්බන්ධයි කියලා පස්සේ තමයි දැනගන්න හම්බවුණේ. පුත්තලම් දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍ර්රි රහීම් එයාගේ කටින්ම කිව්වට පස්සේ තමා මමත් දන්නේ. නැත්නම් මම දන්නේ නෑ කවුද අයිතිකාරයා කියලා. මේකේ තිබුණ සියලු සම්පත් මේ පුද්ගලයා තවමත් භුක්ති විඳිනවා. 225 මේ රටේ මිනිස්සු පළ යන්න කියලා බනිනකොට, අපිට පුංචි කැක්කුමක් එනවා හොරකම් නොකරපු මිනිස්සු හැටියට මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න ගියාම අපි බැනුම් අහනවා.
මම කියන්නේ මේකේ නියම බද්ද එකතු කරගන්න. අඩුම තරමේ මේ දේපළ රජයේ නිසා ඒවා රජයේ සන්තකයේ තියා ගන්න. ඕනම දේශපාලනඥයෙක් හොරකම් කරලා තියෙනවා නම්, ඔන්න දැන් බඩුත් එක්ක හොරු අහුවෙලා තියෙනවා. ඒවට දඬුවම් කරන්න අධිකරණයට භාරයි. නිලධාරීන්ට භාරයි"