අයිෂාගේ මරණය සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියෙන් විශේෂ ක්‍රියාමාර්ගයක්

By Sithumi May 29, 2022 11:11 AM GMT
Report

අතුරුදන්ව සිට ඊයේ පස්වරුවේ සිරුර හමුවු බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ ෆාතිමා අයිෂා දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමා රක්ෂණ අධිකාරියද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එම සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා සඳහන් කළේ, විශේෂ කණ්ඩායමක් ඒ සඳහා යොමුකර ඇති බවය. දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මව්පියන් වැඩිසැළකිල්ලක් දැක්වීම මඟින් මෙවැනි අපරාධ වළක්වා ගැනීමට හැකියාව පවතින බව උදය කුමාර අමරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර, දැරියගේ මරණය සම්බන්ධයෙන් වූ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ. මේ අතර සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ මීට සම්බන්ධ අපරාධකරුවන් වහාම නීතිය හමුවට ගෙනවිත් දැඩි දඬුවම් ලබාදීමට තමන් පෙරොන්දු වන බවය.

බණ්ඩාරගම අටුලුගම විසූ වයස අවුරුදු 09ක් වූ ෆාතිමා අයිෂා දැරිය පෙරේදා පෙරවරුවේ සිය නිවසට මීටර් 250ක් ආසන්නයෙන් පිහිටි කුකුළු මස් වෙළෙඳසැලකට ගොස් යළි නිවසට පැමිණ තිබුණේ නැහැ.

පසුව දැරියගේ දෙමව්පියන් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව දැරිය සොයා සොදිසි මෙහෙයුම් ඇරඹි අතර එහිදි දැරිය වෙළෙඳසැලට අතුළුවන හා පිටවන දර්ශන ඇතුළත් සී.සී.ටීවි දර්ශන හමුව තිබුණි.

කෙසේ වෙතත් නිවසට ආසන්න මීටර් 150ක ප්‍රදේශයේ සී.සී.ටීවි කැමරා සවිකර නොමැති පසුබිමක දැරිය සොයා ඊයේ පස්වරුව තෙක් අඛණ්ඩ සොදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණි. ඒ අනුව ඊයේ පස්වරුවේ ප්‍රදේශවාසින් විසින් දැරිය‍ගේ නිසල සිරුර සොයාගනු ලැබුවේ දැරියගේ නිවස අසලම අටුලුගම මහපල්ලිය ඉදිරිපිට කැලෑබද වගුරුබිමක තිබියදීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now