ප්‍රධාන ජංගම දුරකථන සමාගමක පාරිභෝගිකයන්ගේ සම්බන්ධතාවයන් ස්වයංක්‍රීයව අත්හිටුවීමක් - විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක් මෙන්න..

Sri Lanka
By krishani Apr 29, 2022 07:22 AM GMT
Report

Airtel 3G ජංගම දුරකථන ජාලය 2022.06.24 දින වනවිට ක්‍රියාවිරහිත කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර ලබා දී තිබේ.

ඒ අනුව එම ජංගම දුරකථන ජාලය හරහා පහසුකම් ලබාගන්නා 2G සහ 3G තාක්ෂණයන්ගෙන් පමණක් බලාත්මක ජංගම දුරකථන භාවිත කරන පාරිභෝගිකයන්ගේ සම්බන්ධතාවයන් ස්වයංක්‍රීයව අත්හිටුවීමක් සිදුවනු ඇත.

3G ජාලය ක්‍රියාවිරහිත කිරීමේ ප්‍රධාන අරමුණ 3G තාක්ෂණය සඳහා දැනට භාවිතා කරන සංඛ්‍යාත 4G තාක්ෂණය ප්‍රවර්ධනය සඳහා යොදා ගනිමින් පාරිභෝගිකයන්හට වඩා වේගවත් සහ පුළුල් සේවාවක් ලබාදීමය.

මේ සඳහා එයාටෙල් (Airtel) ආයතනයට මාස 15 ක සංක්‍රාන්ති කාලසීමාවක් ලබාදී තිබුණි. 3G ජාලය ක්‍රියාවිරහිත කිරීමෙන් අදාළ පාරිභෝගිකයන්හට ඇතිවිය හැකි අපහසුතා මගහරවා ගැනීමට මෙලෙස සහන කාලසීමාවක් ලබාදී තිබේ.

එයාටෙල් ආයතනය ඔවුන්ගේ 3G ග්‍රාහකයන්ගෙන් යටත්පිරිසයෙන් 90% එයාටෙල් (Airtel) 4G ජාලයට අන්තර්ග්‍රහණයකර ගැනීමට පහත සඳහන් කොන්දේසි යටතේ බැදීසිටී.

1. පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා 3G ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන් එම ජාලය විසන්ඳිවීමට පෙර 4G ජංගම දුරකථන ජාලය භාවිතය සඳහා පෙළඹවීම.

2. 3G ග්‍රාහකයන් සඳහා 4G ජංගම දුරකථන ලබාගැනීම සඳහා පහසු ගෙවීමේ ක්‍රම යටතේ සහනදායි මිලට ලබාගැනීමට හැකි පහසුකම් උපරිමයෙන් සලසා දීම.

3. සංක්‍රාන්ති කාලය තුළ එසේ ලබාගන්නා 4G දුරකථන සම්බන්ධතා සඳහා සිත් ගන්නා සුළු දුරකථන පැකේජ හඳුන්වාදී කියාත්මක කිරීම.

4. 3G ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගිකයන් වෙත කෙටි දුරකථන පණිවිඩ (SMS) මගින් නිශ්චිත කාලාන්තර වලදී මෙම ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීම සහ එම පාරිභෝගිකයන් නියමිත කාලයට පෙර 4G දුරකථන සම්බන්ධතාවයන් ලබා ගැනීමට දිරිගැන්වීම.

ඒ අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එයාටෙල් ආයතනය වෙත කෙටි දුරකථන අංක 780 ඔස්සේ අමතා ඉහත කොන්දේසිවලට අනුකූලව 4G ජංගම දුරකතනයක් ලබාගැනීමට කටයුතු කරන ලෙසටය.

අදාළ පාරිභෝගිකයින් හට 2022.06.01 දින දක්වා මෙම සහනය ලබාගත හැකිවනු ඇති. එසේම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ මේ පිලිබඳව ඉහත කාලසීමාව තුළ යම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවුහොත් ඒ පිලිබඳව පහත ලිපිනයන් ඔස්සේ එම කොමිසම වෙත දැනුම්දෙන ලෙසටය.


අධ්‍යක්‍ෂක ජනරාල්,

ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව,

නො. 276,

ඇල්විටිගල මාවත,

කොළඹ 08 විද්‍යුත් තැපෑල: smcomp@trc.gov.lk

ෆැක්ස්: 011 2689341

දුරකථන: 011 2689345