ඉතිහාසයේ ප්‍රථමවරට වැඩබලන ජනාධිපති ලේකම්වරියක්..! වැඩබලන අමාත්‍යවරු පහක්..

Parliament of Sri Lanka Ranil Wickremesinghe Sri Lanka
By Sewvandhi Jul 20, 2023 10:08 AM GMT
Report

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් ජනපති රටින් බැහැරව සිටින කාලය තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්‍ෂණය කිරීමට අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මෙන්ම ජනාධිපති ලේකම්වරියක් පත් කර ඇත.

එනම්, අද (20) සිට බල පැවැත්වෙන පරිදි වැඩබලන ජනාධිපති ලේකම්වරිය ලෙස ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක වන චාන්දනී විජේවර්ධන මහත්මිය පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති ලේකම් ධූරයෙහි වැඩ බැලීමට කාන්තාවක් පත් කෙරුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් ෂෙහාන් සේමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරනු ඇත.

එසේම ජනාධිපතිවරයා ඉන්දියාවේ නිල සංචාරයේ යෙදෙන කාලයට අදාළව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා තාක්ෂණ අමාත්‍යවරයා ලෙසත් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසත් පත් කර තිබේ.