අවධානයෙන්..! විදෙස් රැකියා අපේක්ෂකයන්ට විශේෂ දැනුම්දීමක්..!

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Sep 17, 2022 12:41 PM GMT
Report

පෝලන්තය, රුමේනියාව, ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය, මැලේසියාව සහ මාලදිවයින වැනි රටවල රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ දැනුම්දීමක් සිදුකරයි. එම කාර්යාංශය දැනුම්දෙන්නේ එවැනි රටවල රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකරන පුද්ගලයින්ට හසු නොවන ලෙසය. 

 වර්තමානයේ රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් විදේශ රැකියා සඳහා යාමට උනන්දුවක් දැක්වීම හේතුවෙන් ඉහත රටවල රැකියා ලබාදෙන බව පවසා සමාජ මාධ්‍ය හා වෙබ් අඩවිවල දැන්වීම් පළකරමින් මුදල් ලබාගන්නා වංචාකරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබෙන පැමිණිලි දිනෙන් දින ඉහළ යමින් තිබේ. විදේශ රැකියාවක් සඳහා යාමට කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට විදේශ ගමන් බලපත්‍රය හෝ මුදල් ලබාදීමට පෙර එම ආයතනය කාර්යාංශයේ බලපත්‍රයක් හිමි නීත්‍යානුකූල ආයතනයක්ද යන්න සොයාබලන ලෙසද කාර්යාංශය වැඩිදුරටත් ජනතාවට දැනුම්දෙයි.

කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවියෙන් හෝ කාර්යාංශයේ පැය 24 පුරා ක්‍රියාත්මක තොරතුරු මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1989 ඇමතීම මගින් මහජනතාවට රැකියා නියෝජිතායතනවල නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු දැනගත හැකිය. විදේශ රැකියා වංචාකරුවන් පිළිබඳව තොරතුරු දන්නේ නම් ඔවුන් පිළිබඳව තොරතුරු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලබාදෙන ලෙසද ඉල්ලීමක් කරයි.

(විශේෂ විමර්ශන අංශය - දුරකථන අංකය 0112864241)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW