ඥානසාර හිමිගේ ගැටලුව ගැන රජය අපේ කරුණු පිළිගත්තාද? කිරිඇල්ලගෙන් හෙළිදරව්වක්

Lakshman Kiriella Galagoda Aththe Gnanasara Thero Latest Headlines Sinhala news Arrest
By R.rishma Oct 16, 2026 09:40 AM GMT
Report

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව විසඳීම සඳහා සමගි ජන බලවේගය පෙන්වා දුන් කරුණු පිළිබඳව රජය පසුව අවධානය යොමු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අද (16) ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

රට තුළ මතුව ඇති ගැටලුවට විසඳුමක් සෙවීමේ අරමුණින් සහ සුහදත්වයෙන් යුතුව තම පක්ෂයේ නියෝජිත පිරිස මහනුවර මල්වතු සහ අස්ගිරි මහා විහාර වෙත ගොස් මහානායක හිමිවරුන් බැහැදුටු බවද කිරිඇල්ල මහතා පැවසීය.

ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් රට තුළ දැඩි කම්පනයක් ඇති වූ බවත්, එය බෞද්ධ ජනතාවට පමණක් නොව අනෙකුත් ආගමික ප්‍රජාවන්ටද බලපෑ බවත් ඔහු සඳහන් කළේය.

මෙම තත්ත්වය හමුවේ බෞද්ධ මහානායක හිමිවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා කළ බවත්, එහිදී නීතිය පවතින තත්ත්වයක් තුළ තමන්ට එවැනි නියෝගයක් නිකුත් කළ නොහැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබූ බවත් කිරිඇල්ල මහතා පැවසීය.

කෙසේ වෙතත්, තම පක්ෂයේ නියෝජිතයන් මහානායක හිමිවරුන් හමුවූ අවස්ථාවේදී, නව නීති සම්පාදනය කරන තෙක් ඥානසාර හිමියන්ට සහනයක් සැලසීම සඳහා ජනාධිපතිවරයාට පවතින විධායක බලතල පිළිබඳව කරුණු පෙන්වා දුන් බව ඔහු කියා සිටියේය.

“බෞද්ධ භික්ෂූන් වහන්සේලා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීම නීති විශේෂඥයන් මේ කරුණු පෙන්වා දුන්නා නම් රජයට මේ තරම් ගැටලුවක් ඇති නොවීමට ඉඩ තිබුණා. කෙසේ වෙතත්, පසුව රජය අප පෙන්වා දුන් කරුණු පිළිබඳව අවධානය යොමු කළා” යැයි ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවට වසර 2,300කට අධික බෞද්ධ සම්ප්‍රදායක් පවතින බව පෙන්වා දුන් කිරිඇල්ල මහතා, 1815 උඩරට ගිවිසුම සහ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු ඉතිහාසයේ විවිධ අවස්ථාවලදී බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබාදීම සහ අනෙකුත් ආගම්වලට ගරු කිරීම සම්බන්ධයෙන් විධිවිධාන ඇතුළත් කර ඇති බව සඳහන් කළේය.

පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය පාලන සමයන්හිදී පවා බෞද්ධ භික්ෂූන් වහන්සේලාට මෙවැනි ආකාරයෙන් සැලකීමක් සිදු නොවූ බවටද ඔහු අදහස් පළ කළේය.

මහාධිකරණයකින් වරදකරු කරනු ලැබූ පුද්ගලයකුට වුවද අදාළ නීතිමය ක්‍රියාපටිපාටිය අනුව ජනාධිපති සමාව ලබාදීමේ හැකියාව පවතින බව සඳහන් කළ කිරිඇල්ල මහතා, යහපාලන රජය සමයේදී ඥානසාර හිමියන්ට සමාව ලබාදීම සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

 පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර අන්තවාදය සම්බන්ධයෙන් ඥානසාර හිමියන් කළ අනතුරු ඇඟවීම් පසුව සත්‍ය බවට පත්වූ බවද ඔහු පැවසීය. ඒ අනුව, අදාළ නීතිමය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඥානසාර හිමියන්ට සහනයක් සැලසීම සඳහා රජයට ක්‍රියා කළ හැකි බව කිරිඇල්ල මහතාගේ අදහස විය.

මහානායක හිමිවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී තමන් විවේචනය කළේ රජයේ ප්‍රතිපත්තිය මිස කිසිදු සුළුතර ජන කොටසක් හෝ වෙනත් ආගමික ප්‍රජාවක් නොවන බවද ඔහු අවධාරණය කළේය.

සමගි ජන බලවේගයේ ප්‍රධාන අරමුණ සියලු ජාතීන්ට සහ ආගම්වලට යුක්තිය ඉටු කිරීම බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.