ගම්පහ ප්‍රසිද්ධ පාසලක සිසුවියක් දිවා ආහාරය සඳහා පොල් මද රැගෙන එයි - මෙරටින් ඇසෙන අධිසංවේදී පුවත..

Food Shortages Colombo Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Food Crisis
By Sewvandhi Sep 21, 2022 02:55 PM GMT
Report

ආහාරය සඳහා කලටි පොල්මද රැගෙන ආ සිසුවියක පිළිබඳව අද මිනුවන්ගොඩ පාසලකින් වාර්තා වුණා. පවතින ආර්ථික අර්බුදය හමුවේ දරුවන් මුහුණ දෙන අපහසුතා අනන්ත බව සැගවීමට කරුණක් නොවේ. කුසගින්න නිසා පාසලේ බුද්ධ පූජාව ආහාරයට ගත් දරුවන් දෙදෙනෙකු ගැන මෙන්ම, මිරිස් කුඩු පමණක් ඉස බත් ආහාරයට ගත් සිසුවියක පිළිබද තොරතුරු වාර්තා වී තවම වැඩි දිනක් ගතවී නැහැ.

එවන් වටපිටාවක් තුළ පාසල් දිවා ආහාරයට කළටි පොල් මද රැගෙන ආ සිසුවියක් පිළිබඳව තොරතුරු මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ කනිෂ්ඨ ද්වීතියික පාසලකින් වාර්තා වනවා. පාසලේ ශිෂ්‍ය නායිකාවක් ද වන ඇය 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ඇයගේ පියා කුලී රැකියාවක නිරතවන බව සඳහන්.

ඊයේ පාසල් දිවා ආහාර කාලය තුළ මෙම සිසුවිය මිතුරියන් සමඟ එක්ව කළටි පොල් මද ආහාරයට ලබා ගන්නා ආකාරය දැක ඇත්තේ පන්තිභාර ගුරුතුමිය විසින්. පසුව එම ගුරුතුමිය පාසලේ අනෙකුත් ගුරුභවතුන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර පාසලේ සිටින එවැනි ළමුන් කිහිප දෙනෙකුට ආහාර සපයා දීමටද කටයුතු කර තිබෙනවා.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි දෙමාපියන් රැසකගේ දරුවන් පැමිණෙන්නේ මෙම කනිෂ්ඨ ද්වීතියික පාසල වෙතයි. මෙම පාසලේ පළමු ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය සඳහා ඉගෙනුම ලබන දරුවන්ට දිවා ආහාරය ලබා දිමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වනවා.

ඒ අනුව ඊයේ එම පාසලේ සිසුන්ට දිවා ආහාරය සඳහා බත් සමඟ පරිප්පු ලබා දි ඇති අතර පසුව පරිප්පු අවසන් විම නිසා 3 ශ්‍රේනියේ දරුවන්ට බත් පමණක් ආහාරයට ලබා දි ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. මේ අතර සිය රෝහලට පැමිණෙන මන්දපෝෂණය සහ අධි කෘෂභාවය සහිත ළමුන්ගේ ඉහළයාමක් වාර්තාවන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය කෝසල කරුණාරත්න සඳහන් කළා.

එසේම රට මුහුණ දි ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් තවදුරටත් ළමා මන්දපෝෂණයේ වැඩීවීමක් අපේක්ෂා කරන බව මාතෘ හා ළමා සෞඛ්‍ය, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now