ස්ත්‍රී දූෂක ඉන්දීය පූජකයෙක් රනිල්ගෙන් දේශපාලන රැකවරණ ඉල්ලයි.

Ranil Wickremesinghe India
By Wayomi Sep 05, 2022 12:55 PM GMT
Report

ඉන්දීය පූජකවරයෙකු ලෙස සැලකෙන ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ සිටින නිත්‍යානන්ද ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණ පතමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඔහු සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීමක් බව පවසමින් අගෝස්තු 7 වන දා මෙරට ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ස්ත්‍රී දූෂණ චූදිත නිත්‍යානන්ද අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත්, ඔහු විසින්ම පිහිටුවන ලද සහ නම් කරන ලද දූපතක් වන ශ්‍රීකයිලාස ස්වෛරී රාජ්‍යයේ වෛද්‍ය යටිතල පහසුකම්වල හිඟකම අදාළ ලිපියේ සඳහන් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ශ්‍රීකයිලාස විදේශ කටයුතු අමාත්‍යවරයා යැයි කියා ගන්නා, නිත්‍යප්‍රේමත්මා ආනන්ද ස්වාමි විසින් මෙම ලිපිය ලියා ඇති අතර India Today සඳහන් කළේ, අදාළ ලිපිය තමන් ද පරිශීලනය කළ බවයි.

අදාළ ලිපියේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ මෙසේය.

" හින්දු ආගමේ උත්තරීතර පූජක (SPH) අතිඋතුම් ශ්‍රී නිත්‍යානන්ද පරමශිවම් හිමිපාණන්ට බරපතළ රෝගී තත්ත්වයක් සඳහා හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ. දැනට කයිලාසයේ පවතින වෛද්‍ය පහසුකම් සියල්ල යොදා ගනිමින් උත්සහ කළ ද වෛද්‍යවරුන්ට තවමත් ඔහුගේ රෝගී තත්ත්වය හඳුනා ගැනීමට නොහැකි වී තිබේ. නිත්‍යානන්ද දැනට ශ්‍රීකයිලාස ස්වෛරී දේශයේ සිටින අතර, මේ අවස්ථාවේ එහි ඉතා ඉක්මනින් අවශ්‍ය වෛද්‍ය යටිතල පහසුකම් නොමැත."

එම ලිපියෙන් ශ්‍රීකයිලාස අමාත්‍යවරයා තවදුරටත් ඉල්ලා ඇත්තේ,

"නිත්‍යානන්දගේ සෞඛ්‍ය තත්ත්වය සිහි තබා ගනිමින්, ඔහු වෙත ආපසු හැරවිය නොහැකි දේශපාලන රැකවරණ ලබා දෙන ලෙස අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු, එවිට ඔහුව ගුවන් යානයක් මගින් එවා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආරක්ෂිතව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත හැකියි.

ඊට අමතරව, නිත්‍යානන්දගේ ජීවිතය පීඩාකාරී බලවේගවලින් අනතුරට ලක්ව ඇති හෙයින්, ඔහුගේ ආරක්ෂාව සහතික කිරීමට හොඳ ම ක්‍රමය, ඔහු රාජ්‍ය නායකයෙකු ලෙස සලකා ගමන් කිරීම බව අපි විශ්වාස කරමු,"

2018 නොවැම්බර් මාසයේදී නිත්‍යානන්ද ඉන්දියාවෙන් පළා ගියේ, ගුජරාට් පොලිසිය පැහැර ගැනීමේ චෝදනාව මත ඔහුගේ ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව බවයි India Today වාර්තා කරන්නේ.

පරිත්‍යාග ආකර්ෂණය කර ගැනීම සඳහා දරුවන්ගේ මුහුණු භාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති අතර ඔහුට එරෙහිව කර්නාටක ප්‍රාන්තයේ ස්ත්‍රී දූෂණ චෝදනා ද එල්ල වී තිබෙනවා.

නිත්‍යානන්දට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනා ගොනු කරනු ලැබුවේ, 2010 වසරේදී ඔහුගේ හිටපු රියැදුරු ලෙනින් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වන අතර ඔහු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW