මින්පසු සියලුම මුදල් ගනුදෙනු QR කේතයක් මගින්...

Ranil Wickremesinghe President of Sri lanka Ministry of Finance Sri Lanka Economy of Sri Lanka
By Sewvandhi Jul 26, 2024 12:33 PM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ,මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළකරන බවයි.

එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස ද සියලු දේශපාලන පක්ෂ වෙත ආරාධනා කරන බව ජනාධිපතිවරයා පවසයි.

 රඹුක්කන පරාක්‍රම මහා විද්‍යාලයේදී අද (26) පැවති උත්සවයට එක්වෙමින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා.

එමෙන්ම ,අපනයන කේන්ද්‍රීය ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් රට තුළ ගොඩනැඟිමට අවශ්‍ය පරිපාලන සහ ආයතනික ව්‍යුහය ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත තුළ අන්තර්ගත බවයි, ජනාධිපතිවරයා පැවසුවේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

"අද මෙම පාසලට පැමිණෙන විට මම පාසල් ගිය කාලය මට සිහිපත් වුණා. එදා අපට තිබුණේ කළු ලෑල්ල සහ, හුණු කෑල්ල පමණයි. එදා මෙම පහසුකම් තිබුණේ නැහැ. මම පළමුවරට පරිගණකයක් දුටුවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් නිම කිරීමෙන් පසුවයි. අද ඔබට නවීන උපකරණ සහිත සුහුරු පන්ති කාමර ලැබී තිබෙනවා. අද ලෝකය සෑම අංශයකින්ම සීග්‍රයෙන් වෙනස් වෙනවා. අපත් ඒ වෙනසට මුහුණ දීමට අවශ්‍ය දැනුම ලබාගත යුතුයි.

ඒ වගේම තාක්ෂණය පදනම් කරගත් විශ්වවිද්‍යාල ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මෙම තාක්ෂණික දැනුමත් සමඟ නව ආර්ථික පරිවර්තනයක් රට තුළ ඇති කරමින් ඉදිරියට යාමට අප කටයුතු කරනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය නීති සකස් කිරීමට අප ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධව අප පාර්ලිමේතුවේ දී විවාද කළා. එහිදී විවිධ අදහස් පළ වුණා. අවසානයේ කිසිවෙකුගේ විරුද්ධත්වයකින් තොරව එය සම්මත වුණා.

සියලුදෙනා එක්ව මෙම කටයුතු සිදු කිරීම පිළිබඳව මම පාර්ලිමේන්තුවේ සෑම දේශපාලන පක්ෂයකටම ස්තූතිවන්ත වෙනවා. ඒ පිළිබඳ ස්තූති කරමින් අප සියලුදෙනා එක්ව මෙම වැඩකටයුතු ඉදිරියට ගෙන යමු කියා ප්‍රකාශ කරනවා. අද ඉන්දියාව, චීනය වැනි රටවල් වේගයෙන් ඩිජිටල්කරණයට ලක්ව තිබෙනවා. ඔවුන්ගේ මුදල් ගනුදෙනු සියල්ල සිදුවන්නේ ජංගම දුරක්ථනය භාවිතයෙන්. අපත් එම තත්ත්වයට පත්විය යුතුයි. එහිදී QR කේතය වැදගත් වෙනවා. ඒ පිළිබඳ ජනතාව දැනුවත් කර එම තාක්ෂණය ඔවුන්ට හඳුන්වාදිය යුතුයි. ඒ නිසා මෙම වැඩසටහන ඉතා වැදගත් බව ප්‍රකාශ කිරීමට කැමතියි."

මේ අතර ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මිලියනයකට අධික සංඛ්‍යාවක් සවිබල ගැන්වීමේ දීපව්‍යාප්ත වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කය තුළ QR කේත ක්‍රමය හඳුන්වා දීම වෙනුවෙන් පින්නවල සත්වොද්‍යාන පරිශ්‍රයේ අද (26) පැවති උත්සවයට ද ජනාධිපතිවරයා එක් විය.

පින්නවල සත්වෝද්‍යාන පරිශ්‍රයේ පැවති DIGIECON ප්‍රදර්ශන කුටි නැරඹීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් වූ අතර QR කේතය මඟින් ගෙවීම් නිල වශයෙන් ආරම්භ කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.