ජනපතිධූරය අහෝසි කිරීමේ සූදානමක්..බැසිල් අගමැති ලෙස පත්කරන්න යයි..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කර ගැනීම සඳහා එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව, එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී බහුතරය ලබාගැනීම පිණිස කුමන හෝ සන්ධානයක් සමග එක්ව තරග කර වැඩි වාසි දිනා ගැනීමට ඔවුන් සාකච්ඡා කර ඇති බවයි පැවසෙන්නේ.
ජනාධිපති ධුරය හෝ අගමැති ධුරය පොදු ජන පෙරමුණට ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු බවද එම මන්ත්‍රීවරු පිරිස යෝජනා කර ඇති බවද වාර්තා වේ.
ඉදිරි මැතිවරණයකදී පොදු ජන පෙරමුණට යළි බලය ලබා ගැනීම සඳහා රට පුරා දේශපාලන හමු, සම්මන්ත්‍රණ, ජනරැළි 2500ක් පැවැත්වීමටද කටයුතු සූදානම් වෙමින් තිබෙන බව දේශපාලන තොරතුරු වැඩි දුරටත් හවුරු කරයි.
මේ අතර, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වන වැඩපිළිවෙල නැවත ආරම්භ කිරීමට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සූදානම් වන බව වාර්තා වනවා.
ඒ අනුව, ඉදිරි ජනාධිපතිවරණයේ ඉලක්ක කරමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනතාමතයක් සකස් කර එම ජනාධිපතිවරණයෙන් පසුව ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම එම ව්‍යාපාරයේ අරමුණ බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා, මූලිකත්වය ගෙන සිටින බව ද වාර්තා වේ.
මෙම කටයුත්ත සඳහා දයාසිරි ජයසේකර, රාජිත සේනාරත්න යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද සහාය වනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
මේ සම්බන්ධව ඉදිරියේදී සියලු දේශපාලන පක්ෂ සමගද සාකච්ඡා කිරීමට නියමිතය.
ඒ අනුව එම සංවිධානය කියා සිටින්නේ, ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම මෙහි මූලික අරමුණු බවයි.