රටපුරාම මැණික් සෙවීමේ ජනපතිගේ සැලැස්ම.

Ranil Wickremesinghe Gem
By Wayomi Mar 17, 2024 11:51 AM GMT
Report

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති ගැටලු සඳහා විසඳුම් ලබාදෙමින් එම ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව කියා සිටියේ, පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නිරතවූවන් අතර ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීයි.

එහිදී ඔවුන්ගේ කර්මාන්තයට බලපා ඇති රජයේ නව බදු ප්‍රතිපත්ති පිළිබඳ ගැටලු මෙන්ම කර්මාන්තයේ සෙසු ගැටලු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

මේ මොහොතේ බදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදු කළ නොහැකි නමුත් මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ශක්තිමත් කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කරන බවයි ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

එමෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම දායකත්වයෙන් මෙම ගැටලු විසඳා ගැනීමට අදාළ යෝජනාවලියක් සකස් කර සති දෙකක් ඇතුළත ලබා දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර මෙරට මැණික් කර්මාන්තය ආශ්‍රිත අපනයනය වැඩි කිරීමට මෙන්ම අගය එකතු කිරීම් කෙරෙහිද අවධානය යොමු කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙන්නේ.

මේ අතර ඉදිරියේදී සබරගමුව පළාත සහ නුවරඑළිය දිස්ත්‍රික්කය ආශ්‍රිත ප්‍රදේශවල පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා මෙරට මැණික් ව්‍යාපාරිකයන්ට පූර්ණ වශයෙන් අවස්ථාව හිමිවන බවද පවසා තිබෙනවා.

එමෙන්ම, දිවයිනේ සෙසු ප්‍රදේශ ආශ්‍රිතවද මැණික් හා පතල් ව්‍යාපාර ආරම්භ කළ හැකිදැයි විමසා බැලීමට සමීක්ෂණයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනපති සඳහන් කර ඇත.