එච්චරයි අඩු වුණේ? - ලංකාවටත් න්‍යෂ්ටික විදුලි බලාගාරයක්.

Sri Lanka Government Of Sri Lanka Nuclear Weapons
By Wayomi Nov 17, 2023 11:04 AM GMT
Report

ශ්‍රී ලංකාවේ පාවෙන න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා මහතා ප්‍රකාශ කරනවා.

ඒ, 2032 වන විට මෙරටට අඛණ්ඩ විදුලි බල සැපයුමක් සඳහායි.

ඔහු මේ බව කියා සිටියේ, මෙරට න්‍යෂ්ටික බලශක්ති නීතිය සකස් කිරීම සඳහා දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයේ නිලධාරීන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන අධිකාරියේ දැනට පවතින නීතිය අනුව ශ්‍රී ලංකාවට න්‍යාෂ්ටික බලාගාරයකින් විදුලිය සැපයුම ලබාගැනීමට හැකියාවක් නැහැ.

මේ අනුව පළමුවෙන් සිදුකළ යුතු වන්නේ අදාළ නීතිය වෙනස් කිරීම සඳහා කෙටුම්පත් සකස් කිරීමයි.

ඒ, අනුව ඊට සහායවීමට ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනයේ නීති කටයුතු කාර්යාලයේ න්‍යෂ්ටික සහ ගිවිසුම් නීති අංශයේ ප්‍රධානි ඇන්තනි වෙදෙරෝල් මහතා ඇතුළු නියෝජිතයින් සිව්දෙනෙකු පසුගියදා දිවයිනට පැමිණියා.

මේ අතර එස්.ආර්.ඩී. රෝසා මහතා වැඩිදුරටත් කියා සිටියේ, කොළඹ වරාය නගරය, සැහැල්ලු දුම්රිය ඇතුළු රට තුළ ක්‍රියාත්මක නව ව්‍යාපෘති සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් අවශ්‍ය බවත්, ඊට යෝග්‍යම ප්‍රබවය වන්නේ න්‍යෂ්ටික විදුලි සැපයුම බවත්ය.

ඒ අනුව මෙගාවොට් 400ක පමණ පාවෙන න්‍යෂ්ටික විදුලි බලාගාරයක් කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බවයි ඔහු තව දුරටත් කියා සිටියේ.