මෙරටට අලුත් ම අවස්ථාවක්..

Ranil Wickremesinghe Government Of Sri Lanka
By Sewvandhi Jan 20, 2024 11:11 AM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බෙනින් රාජ්‍යයේ උප ජනාධිපති මාරියම් චාබි තලතා (Mariam Chabi Talata) මහත්මිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ. ඒ උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීවය.

මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුවී ඇත්තේ, ශ්‍රී ලංකාව සහ බෙනින් රාජ්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 2012 වසරේදී ආරම්භ කෙරුණු අතර දෙරට අතර පවත්නා ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් කරගැනීම පිළිබඳවය.

එසේම ප්‍රමුඛ කපු අපනයනකරුවෙකු වන බෙනින් රාජ්‍යයේ කපු කර්මාන්තය තුළ ආයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට ඇති අවස්ථාවන් මෙහිදී පෙන්වා දුන් බෙනින් උප ජනාධිපතිනිය ඒ සඳහා ශ්‍රී ලාංකික ආයෝජකයින් යොමු කරන ලෙසද ජනාධිපතිවරයා වෙත ආරාධනා කර තිබේ.

මේ අතර රාජ්‍ය තාන්ත්‍රික, නිල සහ සේවා ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා ලබා ගැනීමෙන් නිදහස් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව සහ බෙනින් රාජ්‍ය අතර අවබෝධතා ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබුණි.

මෙම ගිවිසුම මගින් දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික, නිල සහ සේවා ගමන් බලපත්‍ර හිමියන්ට පූර්ව වීසා බලපත්‍රයක් ලබා ගැනීමකින් තොරව දින තිහක් (30) දක්වා එක් රටකට ඇතුළු වීමට සහ එහි රැඳී සිටීමට පහසුකම් සපයයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ද බෙනින් රාජ්‍ය වෙනුවෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය ඔලුෂෙගුන් අඩ්ජාඩි බකාරි (Olushegun Adjadi Bakari) මහතා ද මෙම ගිවිසුමට අත්සන් තැබුණි.

ශ්‍රී ලංකා – බෙනින් ද්විපාර්ශ්වික සබඳතා නව මානයකට ගෙන එමින් දෙරට අතර ඇති කරගත හැකි නව ආර්ථික අවස්ථා පිළිබඳ සොයා බැලීමට නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී බෙනින් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයා වෙත ආරාධනා කර ඇත.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය අබේ අහමඩ් (Abiy Ahmed) මහතා අතර හමුවක් ද නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව සිදුවී තිබේ.

ශ්‍රී ලංකාව උදාකරගත් කඩිනම් ආර්ථික ප්‍රකෘතිය පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පළ කළ ඉතියෝපියා අග්‍රාමාත්‍යවරයා පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්තය සහ ඇඟලුම් කර්මාන්තය මෙන්ම නව ආයෝජන ක්ෂේත්‍ර ගවේෂණය කිරීම ඇතුළුව දෙරට අතර ආර්ථික සබඳතා වර්ධනය කරගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇත.

Sponsored By Sarrita Jewellery

මෙරටට අලුත් ම අවස්ථාවක්.. | A New Opportunity For The Garment Industry