ස්ථාන දෙකකදී ව්‍යාපාරිකයෙකු සහ වෛද්‍යවරයෙකු පැහැර ගැනේ.

Sri Lanka Police Businessman Kidnapping
By Wayomi Feb 08, 2024 06:08 AM GMT
Report

මෙරටදී ඊයේ(07) ස්ථාන දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගැනීමේ සිද්ධීන් දෙකක් වාර්තා වෙනවා.

ඒ, අනුව ඊයේ (07) උදෑසන මාතර නගරයේ දී ව්‍යාපාරිකයෙකුව මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් 5 දෙනෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බවට මාතර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා

අනතුරුව ලද තොරතුරක් මත මාලිම්බඩ පොලිස් වසමේ රැඳී සිටියදී අදාල සැකකරුවන් පස්දෙනෙකු හා පැහැරගැනීමට යොදාගත් මෝටර් රථය සහ ව්‍යාපාරිකයාව ද මාතර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුනා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 28, 30, 37 සහ 50 යන වයස්වල පසුවන දෙනිපිටිය හා තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පිරිසක්.

පැහැරගැනීමට ලක්වූ ව්‍යාපාරිකයා මාතර ප්‍රදේශයේ ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානයේ නව ශාඛාවක් විවෘත කිරීමේ උත්සවයකට පැමිණ සිටි අවස්ථාවේ දී මෙම සිදුවීමට මුහුණපා ඇති අතර මුදල් ආරවුලක් මත මෙම පැහැරගැනීම සිදුකර අත්ජි බව පොලිසිය සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

මේ අතර,මුදල් ආරවුලක් මත වෛද්‍යවරයෙකුව පැහැරගෙන ගොස් හික්කඩුවේ ස්ථානයක සිරකරගෙන සිටින බවට ඊයේ පොලිස් සහන මැදිරිය වෙත කරන ලද පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ, අනුව පොලීසිය විමර්ශන ආරම්භ කළ අතර පසුව ලද තොරතුරු මත මීටියාගොඩ පොලිස් වසමේ, තෙල්වත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේ දී වෛද්‍යවරයා පැහැරගෙන විත් සිරකර සිටිය දී හමු වී වූ බවයි පොලිසිය පවසන්නේ.

අනතුරුව සැකකරු එම ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගැනුණු අතර ඔහු 28 හැවිරිදි උපකාරක පංති ගුරුවරයෙක්.

එම වෛද්‍යවරයා බදුල්ලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් වන අතර ඔහුගෙන් රුපියල් ලක්ෂ හතලිහක කප්පම් මුදලක් ලබා ගැනීමට අදාල සැකකරු උත්සහ දරා ඇති බවයි වාර්තා වන්නේ.