වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 07ක 81,865කට පීඩා

Weather Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Aug 22, 2026 10:41 AM GMT
Report

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 07ක පවුල් 25,628කට අයත් පුද්ගලයින් 81,865 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයකට අනුව, අද (22) පෙරවරු 6.00න් අවසන් වූ පැය 24ක කාලය තුළ අම්පාර, බදුල්ල, මඩකලපුව, මොණරාගල, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පවුල් 23,048කට අයත් පුද්ගලයින් 72,153 දෙනෙකුට පානීය ජලය බෙදා දී තිබේ.

අනුරාධපුරය, පොළොන්නරුව, වැල්ලවාය සහ අම්පාර ඇතුළු ප්‍රදේශ රැසකට මේ වනවිටත් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව වාර්තා වේ.

වර්ෂාව නොලැබීම හේතුවෙන් කෘෂිකාර්මික කටයුතු සිදුකර ගැනීමට මෙන්ම පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව ජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටිති.

වියළි කාලගුණය හේතුවෙන් තිරප්පනේ පිත්තලකොණ්ඩෑරුම වැව සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇති අතර, පොළොන්නරුව, හිඟුරක්ගොඩ - කිතුල්උතුව ප්‍රදේශයේ පානීය ජලය ලබාගන්නා ළිං රැසක්ද වියළී ගොස් ඇති බව ප්‍රදේශයේ වාර්තාකරුවෝ සඳහන් කරති.

මේ අතර, නැගෙනහිර පළාත, යාපනය, කිලිනොච්චිය, වව්නියාව, මුලතිව්, මොණරාගල සහ පොළොන්නරුව යන ප්‍රදේශවල දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.