දෙනෝදාහක් බලාසිටියදී, 7 හැවිරිදි දරුවෙකුට පාසලක් ඉදිරිපිටදී එල්ල වූ අමානුෂික ප්‍රහාරය

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Oct 04, 2022 12:26 PM GMT
Report

පාසලක් ඉදිරියේ දෙනෝදාහක් බලාසිටියදී 07 හැවිරිදි දරුවෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් වාර්තා වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලීසිය විසින් 35 හැවිරිදි පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය වාර්තා වී තිබුණේ වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිටදීය.

පහරකෑ බව කියන දරුවා රෝහල්ගත කර තිබේ. ඔහු වාද්දුව පොතුපිටිය පනාපිටිය පාරේ පදිංචි දරුවෙකි. එම දරුවාට පහරදුන් පුද්ගලයාගේ දරුවාද අදාළ පාසලේ එම පන්තියේම ඉගෙනුම ලබන බවද අනාවරණය වී තිබේ. පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයාගේ දරුවා පාසල නිමවී හඬාවැටෙමින් පැමිණ ඇති අතර 'අදත් මට ගැහුවා' යනුවෙන් පවසමින් පියාට අදාළ දරුවාව පෙන්වා ඇත.

එයින් දැඩි කෝපයට පත්වී ඇති එම පුද්ගලයා සිය දරුවාට පහරදුන් බව කියන දරුවා අසලට ගොස් ඔහුගේ ගෙල ප්‍රදේශයෙන් අල්ලා ඒ මේ අත සොලවමින් කම්මුලට පහරදී ඇති බව වාර්තා වෙයි. එලෙස පුද්ගලයා අතින් පහරකෑමට ලක්වූ දරුවාගේ මව විසින් පොලීසිය හමුවේ පවසා ඇත්තේ, "උඹ මොකද නෙතුම් ට හැමදාම ගහන්නේ." යැයි පවසමින් දරුවාගේ වම් කම්මුලට දකුණු අතින් පහරවල් දෙකක් එල්ල කළ බවය. එම පහරදීමත් සමග දරුවා බිම ඇඳවැටී ඇති බවද වාර්තා විය.

පහරකෑමට ලක්වූ දරුවාගේ වැඩිමහල් සහෝදරයා ඔහුව රැගෙනයෑමට පාසල අසලට පැමිණි අවස්ථාවේදී සිද්ධිය ආරංචි වී මවට දුරකථන ඇමතුමක් ගෙන සිද්ධිය පවසා තිබේ. පසුව 7 හැවිරිදි දරුවාව ත්‍රිරෝද රථයකින් කළුතර මහ රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය ඇසින් දුටු අයෙක් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ඒ මොහොතේම තොරතුරු ලබාදී තිබුණි. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලීසිය ඒ මොහොතේම අදාළ ස්ථානයට පැමිණ පහරදීමට සම්බන්ධ පුද්ගලයාව පොලිස් භාරයට ගෙන ඔහු පැමිණි මෝටර් රථය ද පොලීසියට රැගෙන ගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now