දියේ ගිණුණු පුංචි මල්ලි බේරගන්න අයියත් පැනලා..මල්ලි මිය ගිහින් අයියා රෝහලේ..
අද (28) පෙරවරුවේ හෝටලයක පිහිනුම් තටාකයක ගිලීමෙන් 7 හැවිරිදි පිරිමි ළමයෙකු මරණයට පත්ව තිබෙනවා.මහනුවර පොලීසිය පැවසුවේ, මහනුවර, ලුවී පීරිස් මාවතේ පිහිටි හෝටලයකදී මෙය සිදුව ඇති බවයි.
දියේ ගිලී මියගිය දරුවා ගේ වැඩිමහල් සහෝදරයාද දියේ ගිලී තිබෙන අතර ඔහු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කොට තිබෙනවා.රෝහල් ආරංචිමාර්ග පවසන්නේ, එම දරුවා 10 හැවිරිදි වියේ පසුවන බවත් මේ වනවිට මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙන බවයි.
පොලිසිය පවසන්නේ, මියගිය බාල සහෝදරයා පිහිනුම් තටාකය තුළ වැටී සිටිනු දැක ඔහු බේරා ගැනීමට 10 හැවිරිදි දරුවා තටාකයට බැස තිබෙන බවයි.
එහිදී එම දරුවා දියේ ගිලී තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙන බවද පැවසෙනවා. අනතුරෙන් මියගොස් ඇත්තේ මොහොමඩ් මිස්ජාත් නැමැති අයෙක්.
වැරැල්ලගම, අලදෙණිය, කුරුඳුගොල්ල ප්‍රදේශයේ පදිංචි මොවුන් දෙමව්පියන් සමඟ (27) වැනිදා මෙම හෝටලයට පැමිණ තිබෙනවා.
පොලිසිය පවසන පරිදි දරුවන් දෙදෙනා අද (28) පෙරවරු 11.00 ට පමණ පිහිනුම් තටාකය අසළ රැඳී සිටිය දී බාල දරුවා පිහිනුම් තටාකයට වැටී තිබෙනවා. එහිදී තටාකයට වැටුණු සහෝදරයා බේරා ගැනීමට අනෙක් දරුවා ගොස් තිබෙන අතර එහිදී දෙදෙනාම දියේ ගිලී තිබෙන බවයි පැවසෙන්නේ.
ටික වෙලාවකට පසුව දෙමව්පියන් හා හෝටල් සේවකයින් විසින් දරුවන් දෙන්නා ගොඩට ගෙන කඩිනමින් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒවන විටත් බාල දරුවා මියගොස් සිට ඇති බවයි රෝහල් ආරංචිමාර්ග පැවසුවේ.