ළදරු දැරියක කෙලෙසු 68 හැවිරිදි පුද්ගලයාට දැඩි දඬුවම – 60 අවුරුදු සිර
තම නිවසට යාබද නිවසේ ජීවත් වූ පෙර පාසල් වියේ දැරියක ඇගේ මව්පියන් නිවසේ නොසිටි අවස්ථාවලදී තම නිවසට කැඳවාගෙන ගොස්, මාස දෙකක පමණ කාලයක් තිස්සේ බරපතළ ලෙස ලිංගික අපයෝජනය කිරීම ඇතුළු චෝදනා තුනකට වරදකරු වූ 68 හැවිරිදි දෙදරු පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස්. සපුවිද විසින් බරපතළ වැඩ සහිත වසර 60ක සිරදඬුවම් නියම කරන ලදී.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව, විත්තිකරු එකී චෝදනා තුනටම වරදකරු බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බව විනිසුරුවරයා නිගමනය කළේය.
ඒ අනුව, එක් චෝදනාවකට වසර 20 බැගින් බරපතළ සිරදඬුවම් නියම කර, එම සිරදඬුවම් වසර 60 එක දිගට ගෙවී යන පරිදි ලබා දීමට නියෝග කරන ලදී. මීට අමතරව, විත්තිකරුට රුපියල් 30,000ක දඩයක් සහ වින්දිත පාර්ශ්වයට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවිය යුතු බවට නියෝග කළ විනිසුරුවරයා, එම දඩය හෝ වන්දිය නොගෙවන්නේ නම් අමතර වසර දෙකක ලිහිල් සිරදඬුවමක් ලබා දීමට ද නියෝග කළේය.
එවකට 55 හැවිරිදි වියේ පසුවූ විත්තිකරු, වින්දිත දැරියගේ සමීප ඥාතියකු (බාප්පා) බවත්, වැඩිහිටි දියණියන් දෙදෙනකුගේ පියෙකු වන ඔහු විසින් මෙම ළාබාල දැරියට සිදුකළ අපරාධය, මිනිස්කමට නිගා කරන, කිසිදු මනුෂ්‍යයකු විසින් අනුමත නොකළ යුතු බරපතළ වරදක් බවත් විනිසුරු ආර්. එස්. එස්. සපුවිද තීන්දුව නිකුත් කරමින් පෙන්වා දුන්නේය. එබැවින්, නීතිය අනුව ලබා දිය හැකි උපරිම දඬුවම ලබා දීමට තම අධිකරණය කිසිසේත් පැකිළ නොසිටින බවද ඔහු සඳහන් කළේය.