"බිත්තර මහගෙදර" සඟවා තිබූ බිත්තර 60,000ක් එළියට..

Food Shortages Sri Lanka Sri Lanka Food Crisis
By Sewvandhi Mar 03, 2023 09:36 AM GMT
Report

ඊයේ (02) වැඩි මිලට විකිණීම සඳහා 60,000කට ආසන්න බිත්තර තොගයක් සඟවා ගෙන සිටි ජාඇල, දඬුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ ගබඩාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පියවර ගත්තා. අධිකරණයට කරුණු වාර්තා කර අදාළ බිත්තර තොගය සම්බන්ධයෙන් අද (03) තීන්දුවක් ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය පැවසීය.

ඊයේ(2) දහවල දී,පාරිභෝගික සේවා අධිකාරියේ කොළඹ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරියෙකු විසින් සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි මහතාට අයත් ජාඇල, දඬුගම ප්‍රදේශයේ බිත්තර ගබඩාවෙන් බිත්තර මිලදීගැනීම සඳහා බවට අඟවමින් එහි ගොස් තිබුණි.

එම නිලධාරියා ගබඩාවේ හිමිකරු වන ඇන්ටන් නිශාන්ත අප්පුහාමි මහතාගෙන් බිත්තර 260ක් ප්‍රමාණයක් ඉල්ලා තිබුණද ඔහු පවසා ඇත්තේ සිල්ලර මිලට බිත්තර අලෙවි නොකරන බවත් අවශ්‍ය නම් බිත්තර 10,000ක් ලබාදිය හැකි බවත් ය. 

 මෙවන් වාතාවරණයක් තුළ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ගේ කණ්ඩායමක් යළි එම ගබඩාව පරීක්ෂා කිරීමට ඊයේ එහි ගොස් තිබුණි. ගබඩාව පරීක්ෂා කිරීමට ඇන්ටන් නිශාන්ත අප්පුහාමි මහතා දැඩි සේ විරුද්ධවීමත් සමග ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් ජාඇල පොලිසියට ගොස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

වැලිසර මහෙස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ගබඩාව පරීක්ෂා කිරීමට අවසර හිමි ලැබී ඇති අතර එහි තිබී සුදු හා රතු බිත්තර 60,000කට ආසන්න තොගයක් සොයා ගැණුණි. ඒ අනුව වැඩි මිලට බිත්තර විකිණීම, සඟවා තබාගැනීම සහ කොන්දේසි සහිතව විකිණීම යනාදී කරුණු මත ගබඩාවට මුද්‍රා තැබීමට ඊයේ රාත්‍රියේ පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තේය.

උපරිම සිල්ලර මිල ඉක්මවා රුපියල් 47 බැගින් විවිධ ආයතනවලට බිත්තර අලෙවි කළ බිල්පත් රැසක්ද එහිදී භාරයට ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now