ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩු 5ක් කඩිනමින් විභාගයට ගන්නැයි නියෝගයක්
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩු 5ක් කඩිනමින් විභාගයට ගන්නා ලෙස අභියාචනාධිකරණය මහාධිකරණයට නියෝග කර තිබේ.
අල්ලස් කොමිසම විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සේවකයින් පිරිසක් රාජකාරිවලින් බැහැර කර දේශපාලන කටයුතු සඳහා යෙදවීම හේතුවෙන් රුපියල් මිලියන 60කට ආසන්න පාඩුවක් රජයට සිදුකළ බවට චෝදනා කරමින් අදාළ නඩු 5 අල්ලස් කොමිසම විසින් පවරා තිබේ.
එම නඩුවල පළමු විත්තිකරු ලෙස එවකට සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නම් කර තිබුණි.
මේ අතර, අදාළ නඩුවලින් එක් නඩුවකදී විත්තිකරුවන් නිදහස් කිරීමට මහාධිකරණය මීට පෙර ලබාදී තිබූ නියෝගයද අභියාචනාධිකරණය විසින් ඊයේ (04) අවලංගු කර තිබේ.