ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය අනතුරකින් 46ක් මරුට

Spain Train Crash Accident Latest Headlines Sinhala news
By R.rishma Oct 28, 2026 10:21 AM GMT
Report

ස්පාඤ්ඤයේ මධ්‍යම ප්‍රදේශයේ ටොලිඩෝ පළාතේදී අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 46 දෙනෙකු මියගොස් තිබේ.

අද(28) සිදුවූ මෙම අනතුර හේතුවෙන් මැඩ්රිඩ් සිට සියුඩාඩ් රියල් සහ ඇන්ඩලූසියා ප්‍රදේශ දක්වා ක්‍රියාත්මක දුම්රිය සේවා අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇත.   

ස්පාඤ්ඤ දුම්රිය යටිතල පහසුකම් ක්‍රියාකරු වන ADIF ආයතනය අනතුර තහවුරු කර ඇති අතර, දුම්රිය දෙක එකම දිශාවකට ගමන් කරමින් තිබියදී එකක් අනෙකේ පිටුපස ගැටී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ගැටුම හේතුවෙන් දුම්රිය මැදිරි දෙකක් පීලි පැන ඇති බව ද සඳහන් වේ.

අනතුරින් තුවාල ලැබූවන්ට සහාය වීම සඳහා හදිසි සේවා කණ්ඩායම් ක්‍රියාත්මක වන අතර, විපතට පත් පුද්ගලයන්ට තාවකාලික නවාතැන් සැපයීමට ද පියවර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කම්පනයට පත්වූ බව ප්‍රකාශ කළ ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස්, ප්‍රවාහන අමාත්‍යවරයා සහ ප්‍රාදේශීය බලධාරීන් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් තත්ත්වය නිරීක්ෂණය කරන බව සඳහන් කළේය.

අනතුරට හේතුව සම්බන්ධයෙන් මෙතෙක් නිල තොරතුරු අනාවරණය වී නොමැත.