2027 අයවැයට එරෙහිව වැඩවර්ජන රැල්ලක් - වෘත්තීය සමිති රැසක් සටනට

Latest Headlines Sinhala news Puwath.lk Protest Budget 2027
By R.rishma Nov 15, 2026 08:20 AM GMT
Report

2027 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කිරීමට රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබේ.

ඒ අනුව, රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය පෙරේදා දිනයේදී සංකේත වැඩවර්ජනයක නිරත වූ අතර, හෙට (16) දිනයේ සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට ද තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ අතර, වාරිමාර්ග තාක්ෂණ සහායකවරුන්ගේ සංගමය ද අද (15) සිට ලබන 17 වැනිදා දක්වා රාජකාරිවලින් ඉවත්ව අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබේ.

2027 අයවැය යෝජනාවලිය මගින් වාරිමාර්ග තාක්ෂණ සහායක නිලධාරීන්ට කිසිදු සහනයක් ලබා නොදීම මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හේතු වී ඇත.

එමෙන්ම, හෙට (16) දිනයේ සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව ආපදා සහන සේවා නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය ද ප්‍රකාශ කර තිබේ.

එහි සභාපති උපුල් කුමාර මහතා සඳහන් කර ඇත්තේ, සිය ඉල්ලීම් සඳහා නිසි විසඳුම් ලැබෙන තුරු මෙම වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. මේ අතර, අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද අනිද්දා (17) අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර මහතා අද (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය. තවද, විධායක නිලධාරීන්ට අයවැය මගින් ලබාදී ඇති දීමනා තමන්ට ද ලබාදිය යුතු බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය අවධාරණය කරයි.

එහි සභාපති සුමිත් කොඩිකාර මහතා පවසා ඇත්තේ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවයි. මේ අතර, මෙවර අයවැය යෝජනා මගින් පෞද්ගලික බස් රථ කර්මාන්තය සඳහා කිසිදු සහනයක් ලබාදී නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ද සඳහන් කර තිබේ.

ඒ අනුව, 2027 අයවැය සම්බන්ධයෙන් රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති මෙන්ම පෞද්ගලික බස් රථ කර්මාන්තය ද සිය විරෝධය පළ කිරීමත් සමඟ ඉදිරි දිනවලදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් පුළුල් වීමේ අවදානමක් මතුව තිබේ.