බස් අනතුරකින් පාසල් ළමුන් 3ක් ඇතුළු 9ක් රෝහලේ.

Sri Lanka Police Accident
By Wayomi Apr 09, 2024 05:18 AM GMT
Report

අද (09) උදෑසන නාවලපිටිය උඩුවැල්ල ප්‍රදේශයේදී දොලොස්බාගේ සිට නාවලපිටිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගය අසල පිහිටි කන්දක ගැටී අනතුරට පත්ව තිබෙනවා.

එම අනතුරින් බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් තිදෙනෙකු , මගින් පස්දෙනෙකු සහ බස් රථයේ රියදුරා තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය සඳහන් කළේ.

නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථය ධාවනය වෙමින් තිබු අවස්තාවේ බස් රථයේ ඉදිරිපසින් විශාල ශබ්දයක් ඇසුණු බවත්, ඒ සමගම බස් රථය රියදුරු පාලනයෙන් මිදිමත් සමග බස් රථයේ රියදුරා දැඩි පරිශ්‍රමයක් දරා බස් රථය මාර්ගය අභියස පිහිටි කන්දක ගැටීමට සලස්සවා බස් රථය නතර කරගෙන ඇති බවත් වාර්තා වෙනවා.

බස් රථය අනතුරට පත් වු ස්ථානයේ මාර්ගයේ අනෙක් පස මිටර් 300 ක පමණ අධික බැවුමක් සහිත ප්‍රපාතයක් පිහිටා ඇති බවත්, බස් රථයේ රියදුරා බස් රථය ප්‍රපාතයට පෙරලිම වලක්වා ගනිමින් සිදු විමට ගිය විශාල අනතුරක් වලක්වාගෙන ඇති බවත් පොලිසිය සඳහන් කළා.