රත්නපුර හා නාවලපිටියට සුළු ගංවතුර තත්ත්වයක්
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ කළු ගඟේ සහ මහවැලි ගඟේ ජල මට්ටම් ඉහළ යමින් පවතින බැවින් රත්නපුර සහ නාවලපිටිය ප්රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ ජලවිද්යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ, ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ අද (26) අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ මාධ්ය හමුවකට එක්වෙමින්.
පවතින වර්ෂාපතනය අනුව දැදුරු ඔය, රාජාංගනය, තබ්බෝව සහ ඉඟිනිමිටිය ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තබන ප්රමාණයන් වෙනස් කිරීමට සිදුවිය හැකි බවද ඔහු සඳහන් කළා. එම ජලාශ ආශ්රිතව ජීවත් වන ජනතාව විශේෂ අවධානයෙන් පසුවන ලෙසද ඉල්ලීමක් කර තිබෙනවා.
කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර සහ ඊට පහළ ප්රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා. එමෙන්ම නාවලපිටිය ප්රදේශයට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟ ආශ්රිතවද සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය වී ඇති බව සඳහන්. කෙසේ වෙතත්, මහවැලි ගඟේ පහළ ප්රදේශ වන පේරාදෙණිය සහ ගම්පොළ ආශ්රිතව මෙතෙක් ගංවතුර මට්ටමක් වාර්තා වී නොමැති බවද අධ්යක්ෂවරයා ප්රකාශ කළා.
කැලණි ගඟේ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම්ද ක්රමයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් ගම්පහ දිස්ත්රික්කයේ ඇතැම් පහත්බිම් ජලයෙන් යටවීමේ හැකියාවක් පවතින බවටද අනතුරු අඟවා තිබෙනවා.
මන්නාරම සහ යාපනය දිස්ත්රික්කවලට කෙටි කාලයක් තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් පහත්බිම් ක්ෂණිකව ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවද ඉංජිනේරු එල්. එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළා. ඒ අනුව, ගංගා ආශ්රිතව සහ පහත්බිම්වල ජීවත් වන ජනතාව පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත්, ජලාශ වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන නිල නිවේදන පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් දැනුම් දෙනවා.