හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය බලන්න විශේෂඥ වෛද්‍යවරුන් 09ක් ඇතුලට යවයි.

Keheliya Rambukwella Ministry of Health Sri Lanka Sri Lanka Magistrate Court Prisons in Sri Lanka
By Wayomi Feb 19, 2024 07:50 AM GMT
Report

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනකුගෙන් යුත් වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට නියෝග ලැබී තිබෙනවා.

ඒ, මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ විසින්.

මේ අනුව මහේස්ත්‍රාත්වරිය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නියෝග කර ඇත්තේ,හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්ව සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා මෙම මණ්ඩලය පත් කරන ලෙසයි.

එහිදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වන ආකාරයේ රෝගී තත්ත්ව ඇතිවීම සම්බන්ධයෙන් වහාම පරීක්‍ෂණයක් පවත්වන්නැයි මෝසමක් මාර්ගයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම කළ ඉල්ලීමක් පිළිගනිමිනුයි මෙලෙස එම නියෝගය නිකුත් කර ඇත්තේ.

අමාත්‍යවරයාගේ රෝගී තත්ත්ව සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට හෘද රෝග හා විකලාංග රෝග, පෙනහලු රෝග, සම්බන්ධයෙන් විශේෂඥ දැනුම සහිත වෛද්‍යවරුන් ඇතුළත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එහිදී නියම කර තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්ත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් සිදුකළ විමර්ශනයේ 08 වැනි සැකකරු ලෙස සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

අනතුරුව ඔහු පසුගිය පෙබරවාරි 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවත්, ඔහු අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි අන්දමේ රෝගී තත්ත්වයකින් පසුවන බවට දැනුම් දෙමින් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත්කරනු ලැබුවා.

එහිදී කෙහෙළිය රඹුක්වැල්ලගේ පපුවේ වම් පස වේදනාවක් ඇති බවත්, ඔහු හුස්ම ගැනීමේ අපහසුතාවකින් පෙළෙන බවත් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ වාර්තාවේ සඳහන් කර තිබුනා.

එමෙන්ම ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතතුරුව පැමිණිල්ලේ ඉල්ලීම්වලට අවසර දෙමින් අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය මේ සම්බන්ධ වාර්තාව ලබන 26 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමටද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කර ඇත.